04/05/2022
#මැයි_06_වෙනිදා_හර්තාලය
+++++++++++++++++++++++
හර්තාලයක් යනු කුමක්ද? ඒ සදහා පොදු නිර්ණායක තිබේ දැයි දන්නේ නැත. නමුත් එය වෘත්තීය සමිතිවලින් ඔබ්බට ගිය දේශපාලනික ක්‍රියාවලියක් බව පැහැදිලිය. ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයකට එරෙහිව මහජනයා පාරට බැස විරෝධය පළ කිරීමක් ලෙස දැක්විය හැක. 1953 හර්තාලයේ දී එහි ස්වභාවය කොල්වින් ආර්. ද සිල්වා ප්‍රකාශ කර තිබුනේ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය තුළ ඇති නොනගත කාල සීමාව අනුගමනය කිරීමට සමාන විය යුතු බවය. එනම් එය සියලු වැඩ අත්හැර නිවෙස්වලට වී කාලය ගත කිරීමක් විය යුතු බවය. එනම් ඉතාමත්ම සන්සුන් සහ ප්‍රචණ්ඩකාරී නොවන විරෝධය දැක්වීමේ ක්‍රමය විය. නමුත් බොහෝ පැවති හා ඉදිරියට පවත්වනු ලබන හර්තාල ද එසේ වන්නේ නැත.
'හර්තාලයක්' යනු මහජන විරෝධයන් ඒකරාශී කිරීමකි. ආණ්ඩුව විසින් යමක් ක්‍රියාත්මක කරන මට්ටමට ගෙන ඒම, ආණ්ඩුවේ තීරණයක් වෙනස් කිරීම මතු නොව ආණ්ඩුවක් මුළුමනින්ම වෙනස් කිරීම පවා එකට එක්වූ ජන ව්‍යාපාරයකට කළ හැකි බව පෙන්වීමට මෙය ජනතාවට අවස්ථාවකි. මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යයෙන්ම විරෝධය පෑමකි. වැඩබිම්, කාර්යාල, වෙළඳ සැල්, උසාවි හා ප්‍රවාහනය යනාදිය පූර්ණ වශයෙන්ම අකර්මණ්‍ය කිරීමකි.
රටපුරා විවිධ අවස්ථාවල හර්තාල් ඇති වී ඇති අතර මෑත කාලයේ උතුරු නැගෙනහිර පලාත්වල යාපනය විශ්ව විද්‍යාලයේ විරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව පැවති හර්තාලය හා පුත්තලමේ කසල අංගනය ඉදිකිරීමට එරෙහිව පැවති හර්තාලය හදුනාගත හැක. හර්තාලයක් පැහැදිලිවම වැඩවර්ජනයෙන් ඔබ්බට යන අතර වැඩවර්ජනය හර්තාලයක එක් කොටසක් පමණකි. වැඩවර්ජනයක් සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය වැනි නිශ්චිත සේවාවන්ට අයත් පුද්ගල කණ්ඩායම් සහභාගී වන අතර හර්තාලයක ඊට වඩා බොහෝ පුලුල් ජන සහභාගිත්වයක් සහිත රට පුරා ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් විය යුතුය. මේ සදහා වෘත්තීය සමිතිවලට වඩා බොහෝ හැකියාවක් දේශපාලන පක්ෂවලට ඇත. මනා ලෙස කළමණාකරනය කර ගන්නේ නම් රට තුළ මේවන විට ඇති වී ඇති තත්වය හර්තාලයක් සදහා සුදුසු පසු බිමකි. විදේශ විනිමය සංචිත හිගය, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගය, අධික බඩු මිල, ප්‍රවාහන ගාස්තු ඉහළයාම හා රාජ්‍ය දූෂණය හා භීෂණය සමස්ත ජනයා හර්තාලයක් කරා යොමු කර ඇත. එබැවින් හර්තාලය දැනෙන සුළු ව්‍යාපාරයකි. එය ලංකාව කෙරෙහි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කිරීමට සමත් ව්‍යාපාරයකි.
අප්‍රියෙල් 28 පැවති සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක එකකි. හර්තාලයක් සිදු කිරීමට පෙර දින 3ක වැඩවර්ජනයක් සංවිධානය කළේ නම් මැනවැයි මට පුද්ගලික ව සිතේ. මන්ද එක් දින හර්තාලයක් කිසිසේත් ප්‍රායෝගික නොවන අතර හර්තාලයක් කිසිවකුගේ පාලනයකින් තොර දින ගණනක් ඇදී යා හැකි සංකීර්ණ හා අවධානම් සහගත විරෝධතාවයකි. 28 වෙනිදා වැඩවර්ජනය වැඩවර්ජනයකින් ඔබ්බට ගොස් තිබූ අතර බොහෝ නගරවල ජනතාව කඩ සාප්පු වසමින් වර්ජනයට සහාය දක්වා තිබිණ.
හර්තාලයක් සදහා කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන්, ගොවින්, සිසුන්, නිලධාරින්, කාන්තාවන්, ආගමික නායකයන් කිසිදු භේදයකින් තොරව එක්විය යුතුය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොළේ, පාසැල්, සරසවිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස් අතර සැලසුම් සහගත ලෙසින් විරෝධතා ව්‍යාපාර පැන නැඟිය යුතුය. මහා මාර්ග හා දුම්රිය මාර්ග වසා දැමීම, නගර සම්පූර්ණයෙන් ම වසා දැමීම, වර්ජන, පෙළපාළි, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ, උපවාස ඇරඹිම සිදු විය යුතුය. කෙටියෙන් ම අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් ඇණහිටිය යුතුය.
හර්තාලයක් දැළි පිහියෙන් කිරි කෑමකි. රැස්වීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අතර වැඩවර්ජනය කිරීමේඅයිතිය 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත මගින් තහවුරු කර ඇත. එසේම වැඩවර්ජනය සිවිල් වගකීම් වලින් බැහැර කර ඇත. නමුත් හර්තාලයක් සදහා අයිතිවාසිකම් ලැබෙන නීතියක් ඇති දැයි නොදනිමි. මන්ද හර්තාලයක් නිසැකවම සිවිල් නීති කඩකිරීමෙන් ඔබ්බට යන්නකි. දැනටමත් ජනතාව මහා මාර්ග අවහිර කිරීම, පොදු හා පෞද්ගලික දේපලවලට පහරදීම, ගිනි තැබීම ප්‍රාදේශීයව හා අසංවිධානාත්මකව සිදු කරයි. මේවා අපරාධමය ස්වරූපයේ වැරදිය. හර්තාලය මින් පෙර පැවති විරෝධතාවලටත් වඩා ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් බවට පත්වේ. මහා මාර්ග අවහිර කිරීම, දුම්රිය මාර්ග ගැලවීම, වසා නොදමන ලද ආයතනවලට පහරදීම, රථ වාහන වලට පහරදීම, පොදු දේපල විනාශ කිරීම වැනි විනාශකාරී පියවර සදහා නායකත්වයක මෙහෙයවීම රහිත ජනතාව යොමු විය හැකිය. හර්තාලය කිසි විටෙක එක් දිනයයකින් අවසන් වන්නේ ද නැත. හර්තාලය ප්‍රකාශ කරන තරම් පහසුවෙන් හර්තාලය අවසන් කිරීමට හැකි වන්නේ නැත. එසේම ජනතාව මර්ධනය කිරීමේ අරමුණින්ම ජනයා ප්‍රකෝප කිරීමටත්, ප්‍රචන්ඩත්වයට යොමු කිරීමටත් රජය විසින්ම උත්සාහ කිරීමට ඉඩ ඇත. හර්තාලය දික් ගැස්සෙන විට ජනතාව අතරත් ජනතාව හා ආරක්ෂක අංශ අතරත් ගැටුම් ඇතිවීම හා මර්ධනය සිදුවීම අනිවාර්යය. වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන සිදු වනු ඇත. හදිසි නීතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව රජයට ලැබෙනු ඇත. රජයට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මර්ධනයට ද මෙය අවස්ථාවකි. අනිවර්යයෙන්ම විපක්ෂ දේශපාලඥයන් හා වෘත්තීය සමිති නායකයන් මර්ධනය කිරීමට ඔවුන් අත්වඩංගුවට ගෙන දීර්ඝකාලීනව රදවා තැබීමට, ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොණු කිරීමට ද මෙය අවස්ථාවක් කර ගැනීමට ඉඩ ඇත. මෙය දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති තහනම් කිරීම දක්වා වුව ව්‍යාප්ත විය හැක. එබැවින් හැකි තරම් දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීමටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උපදෙස් ලබා ගැනීමටත් වෘත්තීය සමිති නායකයන් උනන්දු විය යුතුය. අරගලය සාර්ථක වුවහොත් මෙම පාලාකයන් ගෙදර යැවීමට මෙම හර්තාලය ම ප්‍රමානවත්ය එසේ නොමැති උවහොත් හර්තාලය මෙම අරගලයේ තීරණාත්මක අවසානය වනු ඇත. එබැවින් හර්තාලය ඉතා සාමකාමීව පැවැත්වීමට සියළුම නායකයන් වගබලාගත යුතුය.
====මංගල සුභසිංහ===