05/09/2024
"කුඩා අල්ලසට යට නොවූ පොදු ජනතාව ඡන්ද ව්‍යාපාරය කරට අරන්"
මැතිවරණ සමයේ දේශපාලනඥයන් දෙන කුඩා අල්ලසට යට නොවී ලංකාවේ ප්‍රථම වතාවට පොදු ජනතාව ඡන්ද ව්‍යාපාරය. තමන්ගේ කරට ගෙන කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගය රට සැලසුම් සහගතව ගොඩනැඟිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා කමිටු 36ක් පමණ පත් කළ බවත් තම ඡන්දය මාලිමාවට ලබාදීමෙන් කිසිදු අගතියක් ජනතාවට සිදුනොවන බවත් දිසානායක මහතා සහතික වෙයි. භාණ්ඩාගාරයට එන හැම ශතයක්ම රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදවන බවද ඔහු කියයි. ඔහු මෙසේද පැවැසීය.
මෙවර ඡන්දයේ විශේෂයක් තිබෙනවා. මීට කලින් අනෙක් පක්ෂ ඡන්ද කළේ කන්න දෙනවා, බොන්න දෙනවා, කාර්යාලයක් දාන්න 50,000ක් දෙනවා. රස්සාවක් දෙන්නම් කියනවා. සිමෙන්ති කොට්ට දෙකක් දෙන්නම්, තහඩු දෙන්නම් වැඩ කරන්න කියලා ඉල්ලමින් තමයි මෙච්චර කල් ඔවුන් ඡන්ද කළේ. හැබැයි අද ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය අර කිසිවක් නැතිව මේ රටේ පොදු ජනතාව කරට අරගෙන කරගෙන යනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි පොදු ජනතාව මේ විදිහට ඡන්ද ව්‍යාපාරයක් තමන්ගේ කරට අරන් දුවන්නේ. මේ නිකම්ම ඇති වූ තත්ත්වයක් නොවෙයි. මේ රටට ඇති වෙමින් තිබෙන අනතුරුදායක තත්ත්වය ජාතික ජන බලවේගයේ අපි දැක්කා. ඒ වගේම මීට අවුරුදු දෙතුනකට කලින් අපට මේ රටේ බලය ගන්න පුළුවන් කියන එකත් අපි දැක්කා. ඒ විශ්වාසය අපි තුළ ඇති වුණා. ඒ වගේම එළැඹෙන ඕනෑම මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ගන්න අවස්ථාව තිබෙන බවත් අපි දැක්කා. අනෙක් පක්ෂ සුපුරුදු විදිහට මේ බල මාරුව වෙයි කියලා කල්පනා කර කර හිටියා. සජිතුත් ඔහොම කල්පනා කර කර හිටියා. වෙනදා සූත්‍රය අනුව බලය එයාගේ අතට කඩාපාත්වෙයි කියලා එයා හිතුවා. එයා ලෝකයේ නැති දේවල් කිය කිය හිටියා.
සම්පත් සොයා බැලුවා. ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවන් සොයා බැලුවා. ලෝකයේ අනාගත පුරෝකථනයන් අධ්‍යයනය කළා. එහෙම කරලා ඉතාම දියුණු ශක්තිමත් පිටු 231ක වැඩපිළිවෙළක් අපි රටට ඉදිරිපත් කළා. ඒ වගේ ආණ්ඩුව ගත්තහම වැඩේ කරන්න පුළුවන් ඒ ඒ විෂයයන් පිළිබඳව දැනුම තිබෙන අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් කණ්ඩායමකුත් අපි පිළිවෙළට තෝරා ගත්තා. හැම ග්‍රාමසේවක වසමකම කොට්ඨාස සභාවක් අපි හැදුවා. හදලා ඉවර වෙලා අපි අපේ කට්ටියට කිව්වා අනෙක් පාක්ෂිකයන් හමුවන්න. ඒ අය සමඟ කතා කරන්න. ඒ අය දිනාගන්න කියලා. රටේ හැම ක්ෂේත්‍රයකම ජනතාව එකතු කරලා අද ජාතික ජන බලවේගය කියලා ශක්තිමත් ව්‍යාපාරයක් අප විසින් ගොඩනඟලා තිබෙනවා.
- අනුරාධා හේරත් (මව්බිම)
අනුරාධා හේරත්