10/04/2026
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්
කලාකරුවන් සඳහා තිළිණ ප්රදානය
ටවර් හෝල් රඟහල පදනම, මධ්යම සංස්කෘතික අරමුදල හා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය ඒකාබද්ධව නාට්ය කේෂ්ත්රයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ටවර් හෝල් රඟහල පදනම මගින් දීමනා ලබන ජ්යෙෂ්ඨ කලා ශිල්පීන් ඇතුළු කලාකරුවන් 150 දෙනෙකු සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අවුරුදු තිළිණ ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක හා ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්ය අමාත්ය එම්.එම්. මොහොමඩ් මුනීර් මුලාෆර් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද දින (අප්රේල් 10) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ටවර් හෝල් රඟහල පදනම ප්රධාන කාර්යාලයේ දී සිදුකෙරිණි.
ටවර් හෝල් රඟහල පදනම පනතේ අරමුණු අතර එන, කලාකරුවන් සදහා සුභ සාධනය සැලසීම, කලාකරුවන් සඳහා ආධාර කිරීම යන අරමුණු ඉටුකර ගැනීමේ එක් පියවරක් ලෙස, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි ආහාර ද්රව්ය ඇතුළත් මල්ලක් බැගින් ප්රදානය කිරීම වාර්ෂිකව සිදුකරනු ලබයි.
අතීතයේ දී ශ්රී ලාංකීය ප්රේක්ෂක ජනතාවගේ රසවින්දනය සඳහා ඇපකැපව සිට, මේ වන විට වයෝවෘද්ධව ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින ටවර් ශිල්පීන්, වේදිකා නාට්ය ඇතුළු ප්රාසාංගික කේෂ්ත්රයේ නියැලී සිටි කලාකරුවන් සඳහා අවුරුදු තිළිණ ප්රදානය කෙරුණු අතර, එම ජ්යෙෂ්ඨ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැදුරු සාජ්ජයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු නියෝජ්ය අමාත්යතුමාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක, මාධ්ය ලේකම් විජේසේකර වලිසුන්දර, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, අතිරේක අධ්යක්ෂ ජනරාල් ප්රියදර්ශන උඩකුඹුර, කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ ප්රේක්ෂක ජනාදරයට පාත්ර වූ ජ්යෙෂ්ඨ රංගන හා ගායන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා ඇතුළුව ජ්යෙෂ්ඨ කලාකරුවන් රැසක් සහ ටවර් හෝල් රඟහල පදනමේ සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී විය.