02/03/2026
මැදින් පොහොය දිනයේ වැදගත්කම..
අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව එළඹුණු ප්‍රථම මැදින් පුර පසළොස්වක පොහොය වූ අද වැනි පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ විසිදහසකට අධික භික්ෂූන් වහන්සේ පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත් පුර නුවර බලා ගමන ආරම්භ කළහ. කාළුදායි මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මුළු ගමනේ සංවිධානය සිදුවිය. ෂඩ් වර්ණ සහ බුද්ධ රශ්මි මාලාවෙන් ප්‍රභාවත් ව රන් රුවක් මෙන් බබළමින් වඩිනා ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ය. කසාය වර්ණයෙන් පරිසරය ම වර්ණවත් කරමින් කෙළවරක් නොපෙනෙන මානයේ සිට උප ශාන්ත ගමනින් ඉදිරියට වඩින විසිදහසක් ඉක්ම වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ය. එදා අනේපිඬු සිටු දියණි චූල සුභද්‍රාව ගැයූ ශ්‍රමණ ගුණ අප්‍රමාණ ශ්‍රද්ධාවක් ජනිත කරයි.
දයාබර පියතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞදධ ලෝකයා ගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි දහරා උපදවන ශ්‍රෙෂ්ඨ ආගමික දිනයෙකි. කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැනවීමෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ලෝක ශාන්තිය උදාකරලීමට උපන් බිමින් ලැබුණු අනුපමේය සේවාවට කෘතවේදීත්වය දැක්වීමක් වශයෙනි. එබැවින් උන්වහන්සේ ගෙන් කල් යල් බලා සිදුවූයේ යා යුතු ගමනකි. කළ යුතු ශ්‍රෙෂ්ඨ පන්තියේ යුතුකමකි. සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලෙකි. ස්වකීය ඤාති සමූහයාට කළ යුතු උතුම් ම ඤාති සංග්‍රහයෙකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා ගේ සදා ගෞරවයට පත් විය යුතු ය.
සැට යොදුන් මග...
බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායී රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂූ සංඝයා හට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. ඒ බුදු සසුනේ දෙවෙනි ආරාම පූජාව යි.
මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේ ට නො වැඳ බාල- කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන් ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.
මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත් ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ “ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැ”යි ඇසී ය, “මහරජ, මේ අපගේ බුද්ධවංශයෙහි සිරිතැ”යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළහ.
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”
උත්ථාන වීර්‍ය්‍ය කරන්නේ ය. නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙක්හි ම සුවසේ වාසය කරන්නේ ය. මේ දේශනාවසානයෙහි පියරජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමී ය. වළඳා අවසනැ භාග්‍යවතුන් වහන්සේ
“ධම්මං චරෙ සුචරිතං - නනං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”
යන ගාථාවෙන් ධර්‍ම දේශනා කළ සේක. එය අසා රජතුමා සකෘදාගාමී විය. මහාප්‍රජාපතී ගෞතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා හ. එහෙත් යශෝදරා දේවිය පමණක් නො පැමිණියා ය. එතුමිය “මාගේ යම්කිසි ගුණයෙක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා”යි සිතමින් සිය නිවසෙහි ම විසුවා ය.
යසෝධරාවගේ ගෞරවය...
බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙට වඩින සේක් යශෝධරාවන්ගේ ශෝකය සංසිඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන් ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි රාහුලමාතා තොමෝ පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටිය හ. මඳවේලාවකින් පසු ඕ තොමෝ සිහි ලැබ බියෙන් පසකට වී සිටියා ය.
එකල්හි සුද්ධෝදන රජ තෙමේ යශෝධරාවන් ගේ ගුණ කියනුයේ, “ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් පෙරවූවා ය. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා ය. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකුණා ය. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තොමෝ ද එසේ කළා ය. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රතික්ෂේප කළා ය” යනාදීන් සුද්ධෝදන රජතුමා යසෝධරාවන් ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළේ ය.
බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන් ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන යශෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නො පිළිගත්හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරමයට වැඩම කළහ.
නන්ද කුමරුන්ගේ පැවිද්ද...
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරු ගේ මාළිගයට වැඩම කොට දන් වළඳා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු ‘දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ’යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරයා ගේ හදවත කම්පා විය. එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්න නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ”යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, “එසේ ය ස්වාමීනි, පැවිදි වන්නෙමි” යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මලණුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.
රහල් කුමරුන් ගේ පැවිද්ද...
තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජු ගේ මාළිගයට වැඩම කළහ. යසෝධරා දේවී තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පියා සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන “පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැප ය”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අනුමෙවෙනි බන වදාරා මාළිගයෙන් වැඩි සේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේ ය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේ ය. රහල් කුමරුන් ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.
රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්‍දති, චම්මං ඡෙත්වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්‍දති, අට්ඨං ඡෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති”
යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී යැ”යි කී ය.
“ස්වාමීනි, මවු පියන් ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නො කරන්නේ නම් මැනවැ”යි කී ය. එතුමා ගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට “මහණෙනි, මවු පියන් ගේ අවසරය නොලත් දරුවකු පැවිදි නො කරවු”යි වදාළ සේක. පසු දිනයෙහි තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳූ සේක. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් “තොප ගේ පුත්‍රයා මළේ යැ”යි කීනමුත් මම එය නො පිළිගතිමි’ යි කී ය. එකල්හි බුදුහු “මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් සේ නොපිළිගත්හ”යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය.
මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ මැදින් පුන් පොහෝ දා සිදුවූ ගමනයි.