Weherahena Temple - වෙහෙරහේන පන්සල

Weherahena Temple - වෙහෙරහේන පන්සල ║▌│█│║▌║││█║▌│║▌║ original profile ®

මැදින් පොහොය දිනයේ වැදගත්කම..අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව...
02/03/2026

මැදින් පොහොය දිනයේ වැදගත්කම..

අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව එළඹුණු ප්‍රථම මැදින් පුර පසළොස්වක පොහොය වූ අද වැනි පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ විසිදහසකට අධික භික්ෂූන් වහන්සේ පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත් පුර නුවර බලා ගමන ආරම්භ කළහ. කාළුදායි මහරහතන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මුළු ගමනේ සංවිධානය සිදුවිය. ෂඩ් වර්ණ සහ බුද්ධ රශ්මි මාලාවෙන් ප්‍රභාවත් ව රන් රුවක් මෙන් බබළමින් වඩිනා ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ය. කසාය වර්ණයෙන් පරිසරය ම වර්ණවත් කරමින් කෙළවරක් නොපෙනෙන මානයේ සිට උප ශාන්ත ගමනින් ඉදිරියට වඩින විසිදහසක් ඉක්ම වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ය. එදා අනේපිඬු සිටු දියණි චූල සුභද්‍රාව ගැයූ ශ්‍රමණ ගුණ අප්‍රමාණ ශ්‍රද්ධාවක් ජනිත කරයි.

දයාබර පියතුමා ඇතුළු ඥාති සමූහයාට විමුක්ති මාර්ගය හෙළි කර දෙනු පිණිස මහා කරුණාවෙන් රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා ගමනාරම්භ කළ මේ අසිරිමත් පොහොය දිනය සමස්ත බෞදධ ලෝකයා‍ ගේ ම හදවත් තුළ සොම්නස් සහගත පින් සිතිවිලි දහරා උපදවන ශ්‍රෙෂ්ඨ ආගමික දිනයෙකි. කිඹුල්වත් පුර දෙසින් හමා එන සිසිල් මඳ පවන් පවා උන්වහන්සේගේ ගතට සිතට සොම්නස් දැනවීමෙහි සමත් බව වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ලෝක ශාන්තිය උදාකරලීමට උපන් බිමින් ලැබුණු අනුපමේය සේවාවට කෘතවේදීත්වය දැක්වීමක් වශයෙනි. එබැවින් උන්වහන්සේ ගෙන් කල් යල් බලා සිදුවූයේ යා යුතු ගමනකි. කළ යුතු ශ්‍රෙෂ්ඨ පන්තියේ යුතුකමකි. සිය පියාණන් හට දැක්විය යුතු ඉහළ ම සැලකිල්ලෙකි. ස්වකීය ඤාති සමූහයාට කළ යුතු උතුම් ම ඤාති සංග්‍රහයෙකි. මේ මහා සේවාවට මුල පිරූ මැදින් පුන් පොහෝ දිනය බෞද්ධයා‍ ගේ සදා ගෞරවයට පත් විය යුතු ය.

සැට යොදුන් මග...

බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා ‍කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායී රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂූ සංඝයා හට වැඩ සි‍ටීමට නි‍ග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුර පසළොස්වක් දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. ඒ බුදු සසුනේ දෙවෙනි ආරාම පූජාව යි.

මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේ ට නො වැඳ බාල- කුමර කුමරියන් ලවා වැන්ද වූහ. ඔවුන් ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.

මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුන්වන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරයට වැඩ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත් ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ “ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැ”යි ඇසී ය, “මහරජ, මේ අපගේ බුද්ධවං‍ශයෙහි සිරිතැ”යි කියමින් පිය රජතුමාට මගදී ම ධර්ම දේශනා කළහ.

“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ

ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”

උත්ථාන වීර්‍ය්‍ය කරන්නේ ය. නො පමා වන්නේ ය. සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේ ය. ධර්මයෙහි හැසිරෙන පුද්ගල තෙමේ මෙලොව පරලොව දෙක්හි ම සුවසේ වාසය කරන්නේ ය. මේ දේශනාවසානයෙහි පියරජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාලිගයට වැඩමවා දන් පිරිනැමී ය. වළඳා අවසනැ භාග්‍යවතුන් වහන්සේ

“ධම්මං චරෙ සුචරිතං - නනං දුච්චරිතං චරෙ

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි ච”

යන ගාථාවෙන් ධර්‍ම දේශනා කළ සේක. එය අසා රජතුමා සකෘදාගාමී විය. මහාප්‍රජාපතී ගෞතමිය සෝවාන් ඵලයෙහි පිහිටියා ය. දන් වළඳා අවසානයෙහි රජ ගෙදර වැසි සියලු ස්ත්‍රීහු අවුත් බුදුන් වැන්දා හ. එහෙත් යශෝදරා දේවිය පමණක් නො පැමිණියා ය. එතුමිය “මාගේ යම්කිසි ගුණයෙක් තිබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා”යි සිතමින් සිය නිවසෙහි ම විසුවා ය.

යසෝධරාවගේ ගෞරවය...

බුදුරජාණන් වහන්සේ පිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙ‍ට වඩින සේක් යශෝධරාවන්ගේ ශෝකය සංසි‍ඳෙන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන් ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි රාහුලමාතා තොමෝ පැමිණ බුදුහිමි සිරිපතුල් අල්ලාගෙන වැඳ වැටී හඬන්නට පටන් ගත්තා ය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව ඇය කෙරෙහි පතුරුවා නිහඬව වැඩ සිටිය හ. මඳවේලාවකින් පසු ‍ඕ තොමෝ සිහි ලැබ බියෙන් පසකට වී සිටියා ය.

එකල්හි සුද්ධෝදන රජ තෙමේ යශෝධරාවන් ගේ ගුණ කියනුයේ, “ස්වාමීනි, මගේ දුව ඔබ වහන්සේ කසාවත් හැඳි බව අසා කසාවත් පෙරවූවා ය. නුඹ වහන්සේ එක වේලෙහි වළඳනු අසා ඇය ද එක බතින් යැපුනා ය. ඔබ වහන්සේ උස් අසුන් මහ අසුන් අත්හැරිය බව අසා ඇය ද උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකුණා ය. ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තෙ‍ාමෝ ද එසේ කළා ය. ඔබ වහන්සේ මහණ වූ බව අසා සම කුලයෙහි කුමාරවරුන් සරණ පාවා ගන්නට කළ යෝජනා ඇය ප්‍රති‍ක්ෂේප කළා ය” යනාදීන් සුද්ධෝදන රජතුමා යසෝධරාවන් ‍ගේ විශිෂ්ට ගුණයන් වර්ණනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කොට සඳ කිඳුරු ජාතකය වදාරා යසෝධරාවන් ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන ය‍ශෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෞතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නො පිළිගත්හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරමයට වැඩම කළහ.

නන්ද කුමරුන්ගේ පැවිද්ද...

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන් වැනි දා නන්ද කුමාරයන් ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යය ද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරු ගේ මාළිගයට වැඩම කොට දන් වළඳා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු ‘දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ’යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය. නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැවැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරය‍ා ගේ හදවත කම්පා විය. එහෙත් බුදුරජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්න නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නන්දය, මහණ වන්නෙහි දැ”යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, “එසේ ය ස්වාමීනි, පැවිදි වන්නෙමි” යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මලණුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.

රහල් කුමරුන් ගේ පැවිද්ද...

තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජු ගේ මාළිගයට වැඩම කළහ. යසෝධරා දේවී තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහ ගාථා කියා පියා ගැන හඳුන්වා පියා සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන “පියාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ සෙවණෙහි වාසය මට සැප ය”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අනුමෙවෙනි බන වදාරා මාළිගයෙන් වැඩි සේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේ ය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේ ය. රහල් කුමරුන් ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහකසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.

රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්‍දති, චම්මං ඡෙත්වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්‍දති, අට්ඨං ඡෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති”

යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී යැ”යි කී ය.

“ස්වාමීනි, මවු පියන් ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නො කරන්නේ නම් මැනවැ”යි කී ය. එතුමා ගේ ඉල්ලීම පිළිගත් බුදුහු භික්ෂූන් වහන්සේලාට “මහණෙනි, මවු පියන් ගේ අවසරය නොලත් දරුවකු පැවිදි නො කරවු”යි වදාළ සේක. පසු දිනයෙහි තථාගතයන් වහන්සේ රජ මාළිගයට වැඩම කොට දන් වැළඳූ සේක. පසුව සුදොවුන් රජතුමා එකත් පසෙක්හි හිඳ, “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් “තොප ගේ පුත්‍රයා මළේ යැ”යි කීනමුත් මම එය නො පිළිගතිමි’ යි කී ය. එකල්හි බුදුහු “මහරජ, ඔබ දැන් පමණක් නො වැ පෙරත් සේ නොපිළිගත්හ”යි කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය.

මේ සා විශාල සේවාවක් ස්වකීය ඥාති පිරිසට කිරීමට තථාගතයන් වහන්සේට හැකිවූයේ මැදින් පුන් පොහෝ දා සිදුවූ ගමනයි.

දුරුතු පුන් පොහොය දිනය අදයි..🙏* බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනකයි.මෙම පොහොය දින ...
03/01/2026

දුරුතු පුන් පොහොය දිනය අදයි..🙏

* බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනකයි.
මෙම පොහොය දින සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බවට ශාසන ඉතිහාසයේ වැඩිදුරට සඳහන් වේ.

* බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අදවන් දුරුතු පුන් පොහොය දිනකයි.

* බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම අදවන් දුරුතු පෝය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ තවදුරටත් සඳහන් වේ.

* බුදුරජාණන්වහන්සේ විසින් සුමන සමන් දෙවිඳුන්ට කේෂ ධාතු මිටක් පූජා කිරීමද ( පසුව එම කේෂ ධාතූන් නිදන් කොට මහියංගන දාගැබ ඉදිකරවා ඇත)
අදවන් දුරුතු පුන් පොහොය දිනයක සිදු වී ඇත.

ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනක් වේවා..!

උදා වූ " 2026  අලුත් අවුරුද්ද  ආදරණීය ඔබ ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි ......
01/01/2026

උදා වූ " 2026 අලුත් අවුරුද්ද ආදරණීය ඔබ ඇතුළු පවුලේ සැමට
වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි ...!!!

ආයු වඩ්ඩකෝ - ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ - යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ - වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ - හෝතු සබ්බදා

ආයුෂ බොහෝ වේවා ...!!!
නිදුක් වේවා ...!!!
නීරෝගී වේවා ...!!!
රෝ - බිය දුරුව සෞභාග්‍යය උදා වේවා ...!!!
උතුම් තෙරුවන් සරණින් යහපතම සැලසේවා ...!!!

පරිස්සමෙන් සතුට්න් ආදරයෙන් ආරක්ෂාකාරීව ඉන්න ...❤

සණරාමර සම්මාසම්බුදු සරණයි 🙏❣️

ආදරේයි හැමදාමත් ආදරණීය යාළුවෝ හැමෝට

හෙට සවස 4.00ට වෙහෙරහේන පුදබිමේදී ....සුපින්වත් ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🙏
22/12/2025

හෙට සවස 4.00ට වෙහෙරහේන පුදබිමේදී ....
සුපින්වත් ඔබ සැමට ආරාධනා 🙏🙏🙏🙏

🏵️ උදුවප් පුරපසලොස්වක පොහොය දිනය හෙටයි 🏵️උදුවප් පොහොය දිනයේ වැදගත්කම..උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයය...
04/12/2025

🏵️ උදුවප් පුරපසලොස්වක පොහොය දිනය හෙටයි 🏵️

උදුවප් පොහොය දිනයේ වැදගත්කම..

උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පුන් පොහෝ දින මූලික වෙමින් සිදු වී තිබේ.

අනුරාධපුර උඩ මළුවේ විරාජමානව වැඩ සිටින්නේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් දිනයේ ම මහ පොළොවෙන් ජනිත වූ උතුම් වෘක්ෂය එය යි. දස මාර සේනා පරදවා තිලොව ම ජය ගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය එය යි. දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බර බිමට වැඩම කරවනු ලැබුවේ උතුම් වූ උඳුවප් පුන් පෝහෝ දිනයේ දී ය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට මේ සිරි ලංකාද්විපයෙහි සම්බුදු සසුන පිහිටුවා මේ ලක් දෙරණ මත භික්ෂු සංඝයා බිහි කරවූ සේක. මේ ලක් දෙරණ මත භික්ෂුණී සංඝයා බිහි කොට වදාළේ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසිනි. දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කළේ ද උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දීය.

සැවැත් නුවර ජේතවනාරාමය යනු අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසි හතර වතාවක් ම වස් වැසූ උතුම් පින්බිම යි. එකල අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක බලා වන්දනා කර ගැනීම පිණිස බොහෝ දුර බැහැර සිට සැවැත් නුවර කරා ජනයා පැමිණෙන්නට විය. එනමුත් ඇතැම් කාල වල ශාස්තෘන් වහන්සේ වෙනත් ප්‍රදේශයකට වැඩම කොට සිටීම නිසා ඒ ජනයා මහත් දොම්නසිනුත් නොසතුටිනුත් යුතුව ආපසු හැරී යන්නට විය. ආනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙකරුණ බුදුරජාණන් වහන්සේට දන්වන ලදුව උන්වහන්සේ ගේ අනුදැනුම මත ජේතවනාරාමය ඉදිරිපිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගත් බීජයක් රෝපණය කරන ලදී. එතැන් පටන් දෙව්රම් වෙහෙරට පැමිණෙන ජනයා ශාස්තෘන් වහන්සේ වැඩ නොසිටි කල්හී ඒ බුදුරජාණන් වහන්සේ හට දක්වන ගරු බුහුමන් වන්දනාවන් බෝධීන් වහන්සේට දක්වා සතුටු සිතින් ජේතවනාරාමයෙන් නික්ම ගියහ. මේ අයුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ම ශාස්තෘන් වහන්සේ සමකොට මහා බෝධීන් වහන්සේට උපහාර දැක්වීම ආරම්භ විය.

අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී ඒ සම්බුදු ගුණ සිහි කරන අපමණ දෙව් මිනිසුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සත්කාර දක්වන්නට විය. එයින් අපමණ පුණ්‍ය ධර්මයෝ ද රැස්කර ගන්නට විය. දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා පාලනය කළ ධර්මාශෝක රජු ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මහත් වූ ගරු සත්කාරයක් ද උපහාරයක් ද ආදරයක් ද දැක්වූවෙකි. හෙතෙමේ නිරතුරු බෝධීන් වහන්සේට පූජෝපහාරයන් දක්වමින් සැදැහැ සිතින් කල් ගෙවූ රජ කෙනෙකි. මහත් වූ ධනස්කන්ධයක් වියදම් කරමින් අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදි කරවා ධර්මස්කන්ධයන් අසූ හාර දහසට උපහාර පූජාවන් සිදු කළේය. තුන් වෙනි ධර්ම සංගායනාවනට දායකත්වය දරා ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ද කටයුතු කළේය.

එපමණක් ද නොව බුදු සසුනේ ඥාතීත්වය ලබනු කැමතිව තම ආදරණීය පුතණුවන් වන මහින්ද කුමාරයාත් දයාබර දියණිය වන සංඝමිත්තා කුමරියත් සම්බුදු සසුනට පූජා කළේය. ඒ මහා පින්වන්ත මහින්ද කුමාරයා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි වී නොබෝ කලකින් ම මහින්ද මහ රහතන් වහන්සේ බවට පත්විය. සංඝමිත්තා කුමරිය ද මහ රහත් ආයුපාලි තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් ද ධම්මපාලි රහත් තෙරණින් වහන්සේගේ ආචාර්යත්වයෙන් ද පැවිදි බවට පත්ව නොබෝ කලකින් ම රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්විය.

ලක්දිව බුදු සසුන පිහිටුවීම පිණිස මෙහි වැඩම කළ මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ නොහොත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වාසී ජනයාට ශ්‍රී සද්ධර්මය පහදා දුන් සේක. ඒ දහම් අසා මගඵල ලැබූ බොහෝ දෙනා අතරේ අනුලා බිසව ඇතුළු කාන්තාවන් පිරිසක් ද සෝවාන් ඵලයට පත්වූහ. ඔවුහු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලීය. නමුත් භික්ෂුවකට කාන්තා පක්ෂය පැවිදි කරවීමට ශාස්තෘන් වහන්සේ විසින් අනුදැන වදාරා නැත.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් මත එවකට ලක් දිව රජ වූ දෙවනපෑතිස් රජු කාන්තාවන් පැවිදි කරවීම පිණිස සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේත්, සිව් බුදුවරුන්ගේම පහස ලද මේ පින්බිමේ රෝපණය කරවීමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ත් වැඩම කරවන මෙන් ඉල්ලා ධර්මාශෝක අධිරාජ්‍යයා හට හසුන් පත් යැවීය.

මහ රහත් මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක නරපතිඳා‍ණෝ පැළලුප් නුවර සිට බෝධීන් වහන්සේ වැඩසිටි භූමිය තෙක් සත් යොදුනක් මාර්ගය සැරසූහ. දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වඩා හිඳුවීම පිණිස රන් කටාරමක් පිළියෙළ කරන ලදී. මහ පෙරහරින් ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ අසළට පැමිණියේය. තමා අතිශයින් ගෞරව දක්වන ඒ උතුම් බෝධීන් වහන්සේ රන් තිර වලින් වට කොට ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ දෙස බලා සිටියේය. අසිරියෙකි! දක්ෂිණ ශාඛාව ඉතිරි වන පරිදි අන් සියලු ශාඛාවෝ අතුරු දහන් වී ගොස් අපූරු ප්‍රාතිහාර්යයක් සිදු විය.

අතිශයින්ම සතුටු වූ රජු බෝධීන් වහන්සේ පැදකුණු කොට වන්දනා කොට රන් පුටුවක් මත රන් කටාරම තැබ්බවීය. ඉන්පසු රන් තෙලි කූරකින් දක්ෂිණ ශාඛාවේ ඉරක් ඇන්දේය. ‘මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළයුතු නම්, මා මේ සම්බුදු සසුනේ විමති රහිත වූයේ නම් මේ ශාඛාව තෙමේ ම බිඳී රන් කටාරමේ පිහිටාවා! යි අධිෂ්ඨාන කළේය. පිරිනිවන් මඤ්චකයේ වැඩසිටි තිලෝගුරු බුදුරජුන්ගේ අධිෂ්ඨානය පරිදිම බෝධීන් වහන්සේ ඍද්ධියෙන් ම සිඳී ගොස් රන් කටාරමේ පිහිටියාහුය. එකෙණෙහි ම මහ පොළොව කම්පා වී ගියේය. මහා බෝධීන් වහන්සේගෙන් සවණක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදී ගියේය.

දෙවැනි සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි කටාරමත් සමග බෝධි ශාඛාව අහස් ගැබට වැඩම කොට හිම වළා අතර සැඟවී ගියේ ය. සත් දිනකට පසු හොඳින් මුල් ඇද කටාරමේ පිහිටි බෝධීන් වහන්සේ රශ්මි මාලා විහිදුවමින් දිස් වන්නට විය. ප්‍රීතියට පත් රජු දඹදිව් රාජ්‍යය ම බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය. සරසන ලද නෞකාවකින් ගංගා නදිය දිගේ බෝධි ශාඛාව සත් දිනකින් දඹදිව තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේය. එහිදී කරවටක් ජලයේ බැස ධර්මාශෝක රජු බෝධීන් වහන්සේට ගෞරව උපහාර දැක්වූහ. ඒ ධර්මාශෝක නිරිඳාණන් විසින් දඹදිව් රාජ්‍යය තුන්වතාවක් ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු මහ පිරිවර රැගත් නෞකාව ලක්දිවට පැමිණෙන අතරතුර දෙවියනුත් නාගයනුත් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අපමණ පුද පූජා දැක්වූහ. මෙසේ දෙව් මිනිස් නාගයින්ගේ පුද පූජා ලබමින් උඳුවප් මස පුන් පොහෝ දිනයේ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලක්බිමට වැඩමකොට වදාළ සේක.
දෙවනපෑතිස් රජු ද කරවටක් මහ මුහුදේ බැස මහ බෝධීන් වහන්සේ සිරසින් පිළිගත්තේය. මහ පෙරහරින් වැඩම කරවූ ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ දෙව් බඹුන්ගේත් මිනිසුන්ගේත් නාගයින්ගේත් සාදුකාර මධ්‍ය‍‍යේ මහ පොළව කම්පිත කරවමින් අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටියේය. දෙවනපෑතිස් රජුද මේ ලක්දෙරණ තුන් වතාවක් ම බෝධීන් වහන්සේ උදෙසා පුජා කළේය.

අප සම්බුදු රජාණන් වහන්සේ හට සෙවණ සළසාලූ දෙව්බඹුන්ගේ පූජෝපහාරයට පාත්‍ර වූ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන මේ ලක්දිවට වැඩම කළ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිව කාන්තාවන් හට බුදුසසුනේ උතුම් වූ පැවිදි බව ලබා දුන් සේක. තවත් උදාර ශාසනික සේවාවන් ඉටු කරමින් මේ ලක් දෙරණේම වැඩ සිටි ඒ මහෝත්තම සංඝමිත්තා තෙරණින් වහන්සේ හත්ථාළ්හක මෙහෙණවරේදී පිරිනිවන් පා වදාළ සේක. ඒ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහනසේට ද අපගේ නමස්කාරය වේවා!

එමෙන්ම උඳුවප් පොහොය එළඹීමත් සමග සිරිපා වන්දනා සමය ද ආරම්භ වේ. උඳුවප් පොහොයේ සිට වෙසක් පොහොය තෙක් සැදැහැ සිතින් සිරිපා වන්දනා කරන බොහෝ පින්වතුන් අපමණ පින් ඵල රැස්කර ගනිති. ඒ සමනොළ ගිරි සිරසෙහි පිහිටි අප මුනි රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ශ්‍රී පාදයට ද අපගේ නමස්කාරය වේවා!

මෙබඳු උදාර සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුන් පොහෝ දින ය තෙරුවන් සරණ ගිය ගිහි උපාසක උපාසිකාවන්ගේ උතුම් උපෝසථ දිනය යි. සැදැහැ සිතින් ආර්ය උපෝසථය සමාදන් වී ඔබත් මේ පුන් පොහෝ දිනයේ ජීවිතයට අග්‍ර වූ පින් ඵල රැස්කර ගන්න. රැස්කරන සියලු පින් අප සියලු දෙනා හට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වෙත්වා!

උතුම් දළදා සමිදු පිහිට රැකවරණය ඔබ සැමටම ලැබේවා 🙏🙏
28/11/2025

උතුම් දළදා සමිදු පිහිට රැකවරණය ඔබ සැමටම ලැබේවා 🙏🙏

_🌼🙏❤️_පින්බර වප් පොහොය දිනයක් වේවා! Wishing you a blessed Vap Poya Day!අනන්ත බුදුගුණ බලයෙන් සියලු කරදර වලින් ලක්වාසී ලෝක...
06/10/2025

_🌼🙏❤️_

පින්බර වප් පොහොය දිනයක් වේවා!
Wishing you a blessed Vap Poya Day!

අනන්ත බුදුගුණ බලයෙන් සියලු කරදර වලින් ලක්වාසී ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවා..!

පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏බිනර පෝය වැදගත්කම 🙏🙏🙏ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දි...
07/09/2025

පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

🙏🙏🙏බිනර පෝය වැදගත්කම 🙏🙏🙏

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.

බිනර පෝදා පැනවූ අෂ්ට ගුරු ධර්ම

1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.

2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.

✿ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම ....                 ___________________🌺🌺🌺____________________අදට යෙදී තිබෙන ...
10/07/2025

✿ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම ....
___________________🌺🌺🌺____________________

අදට යෙදී තිබෙන ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.

🌸අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

🌸සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

🌸එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

🌸ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

🌸තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

🌸මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

🌸කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම.

🌸ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

🌸ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.

🌸කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

🌸විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

🌸මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

🌸කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

උතුම් තෙරුවන් සරණයි...!!!🌼🌼🌼🙏🙏🙏

🏵️ පොසොන් පොහොය දිනයේ වැදගත්කම...🏵️ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙ...
10/06/2025

🏵️ පොසොන් පොහොය දිනයේ වැදගත්කම...🏵️

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.

ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය.

ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.

☸️. ලංකාවේ ප්‍රථම මහණ උපසම්පදාව
භණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව...

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රධාන ධර්‍මදූත පිරිස සමග පැමිණි භණ්ඩුක කුමාරයා මිහිඳු මාහිමියන් ගේ මවු බිසොවුන්ගේ සහෝදරියගේ දුව ගේ පුත්‍රයා ය. මිහිඳු මාහිමියන් මවු බිසොවුන් හට දේශනා කළ ධර්‍මය අසා අනාගාමී ඵලයට පැමිණියේ තෙරුන් වහන්සේ වෙත ම වාසය කෙළේ ය. වේදිස ගිරියෙහි මාසයක් වැඩ සිටි මිහිඳු මාහිමියන්
වහන්සේ පොසොන් පුර පසළොස්වක් දිනයෙහි ධර්‍මදූත පිරිස සමග ලංකාවට වැඩිය හ. ඒ ධර්‍මදූත පිරිස සමග භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද පැමිණියේ ය. පොසොන් පොහෝදා දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට තිසරණයෙහි පිහිටුවා ‍පසුව අනාගාමි ඵලයට පත් ව සිටි භණ්ඩුක කුමාරයා පැවිදි කොට උපසම්පදා කළ සේක. උන්වහන්සේ එ කෙණෙහි ම රහත් වූහ. මේ ලංකාවේ සිදු වූ මුල් ම මහණ උපසම්පදාව යි.

බුද්ධ දේශනාව අනුව ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර කවර ස්ථානයක දී හෝ භික්‍ෂු නමක උපසම්පදා කිරීමට උපසපන් භික්‍ෂූන් පස්නමකගේ සහභාගිත්වය ප්‍රමාණවත් බව සම්බුදු රදුන්ගේ නියමයයි. මේ කරුණ මැනවින් දැන සිටි මිහිඳු මා හිමියන් තම ධර්ම දූත පිරිසට උපසම්පදා භික්‍ෂූන් පස්නමක් සම්බන්ධ කර ගැනීම උනවහන්සේ තුළ පැවති බුද්ධි මහිමය ප්‍රකට කරන සිදුවීමකි.

☸️. සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම...

මිහිඳු මහරහතන් වහන්සේ ගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්‍ම ශ්‍රවණයට කාල ඝොෂා කළ හ. සාම‍ණේරයින් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්‍ම දේශනා කළ සේක.

☸️. බුද්ධ චරිතය දෙස බලන කල්හි පොසොන් පෝදා එක් සිද්ධියක් සිදු වී ඇත.

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

දීර්ඝ කාලීනව බලනවිට පොසොන් පොහොයෙහි අගය වෙසක් පොහොය දිනයට පමණක් දෙවන වන ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් සැලකිය හැකිය.එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් පණ්ඩු ආදී ද්‍රවිඩ පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු වූයේ එහෙයිනි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට අනිවාර්යෙන්ම පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.

මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මේරටේ දී පැවිදි වූ භික්‍ෂූන් වහන්සේ රට තුළ ව්‍යාප්ත කළහ.උන්වහන්සේ රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසක වරයාණෝ වූහ.මේ නිසා පංචශීලය මැනවින් ආරක්‍ෂාකරන සමාජයක් ගොඩනැගීමට පහසුවිය.
බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීම නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් කරන ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි. ‘මහින්දාගමනය සැලකිය යුත්තේ සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙසය, උන්වහන්සේ ලංකාවට ගෙන ආවේ හුදෙක් අභිනව ආගමක් පමණක් නොවේ. එවකට මෞර්ය රාජ්‍යයේ උපරිම පෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරය ද ගෙන ආහ. අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදාක ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.

වෙසක් පොහොය දින වැදගත්කම🙏හිරු බබළන්නේ දිවා කල පමණි. සඳු බබළන්නේ රාත්‍රියේ පමණි. තාරකා රූප, විදුලි එළි, ගිනිදැල් ආදියෙන් ...
12/05/2025

වෙසක් පොහොය දින වැදගත්කම🙏

හිරු බබළන්නේ දිවා කල පමණි. සඳු බබළන්නේ රාත්‍රියේ පමණි. තාරකා රූප, විදුලි එළි, ගිනිදැල් ආදියෙන් නැඟෙන ආලෝක ද ඉතා සීමිත ය. ඒ සියලු ආලෝක ප්‍රභවයන් පරිච්ඡින්න වූ භූමි සීමා හා කාල සීමා සහිත ය.

එහෙත් කාල භූමි සීමා අතික්‍රමණය කොට, සදාකාලික ව දිදුලන, හැම අතින් ම බබළන රන් හිරු මඬලත්, රිදී සඳ මඬලත් මිහිමත පහළ විය. ඒ අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුලභ දෑ විරල ය. විරල දෑ දුලභ ය. කෙතෙක් දුලභ වුව, විරල වුව විදුරු, මිණි, රන් රිදී ආදිය සෑම කල්පයක ම මෙදියත විද්‍යමාන ය. දිස්සමාන ය. එහෙත් මහා කල්ප අසංඛ්‍යෙය ගණනකින් පවා හමු නොවන අතිශයින් දුලභ විරල උත්පාදය ශ්‍රීමත් සම්බුද්ධෝත්පාදය ම පමණි.

🌹🌿 බුදු පෙළහර...

ජීවිතයේ කිසිදු දිනයෙක ශීලසමාදානයේ නො යෙදුණු අය වෙසක් පුනු පොහෝ දිනයේ උදෑසන ම හොඳම හොඳ උවසු උවැසියන් ලෙස සුදුවතින් සැරසී වෙහෙර විහාරයන් කරා පා නඟන්නේත්, කිසිදු දිනයෙක භාවනා කර්මයෙක නො යෙදුණු සමහරුන් පළ පුරුදු යෝගාවචරයන් සේ භාවනා කරන්නේත්, අවුරුද්දේ වෙන කවර දිනයෙකවත්, බණ නො අසන අය ධර්මාලම්බන ප්‍රීතියෙන් යුතු ව සාධු නාද පවත්වමින් බැතිසිතින් දහම් අසන්නේත්, අවුරුද්දේ වෙන කිසිදු දිනයෙක විහාරයට නො ගිය උදවිය තෙල් මල් පහන් ආදී පූජා ද්‍රව්‍යයන් රැගෙන විහාරාරාමයන් කරා පැමිණෙන්නේත්, පොහොසතා ගේ මාළිගයේ සිට දුප්පතා ගේ පැල්පත දක්වා ම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී නාමයට පහනක් දල්වනුයේත්, සැරසිල්ලක් කරනුයේත්, අවුරුද්දේ අන්කිසි දිනයෙක දුගී මගී යාචකාදීන් විෂයයෙහි සුළු දෙයකින් පවා සංග්‍රහ නො කරන අය මහා ත්‍යාගශීලිී දානපතියන් සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නේත්, ගම් - නියම්ගම් - නගර ආදී හැම තැනක ම වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නො ව බුදුහිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි

🌹🌿 පොහොය වැදගත්කම...

සැදැහැති බෞද්ධ අප විසින් සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන නිසා මෙම ලිපිය ලියවෙන්නේ වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමට යි.

☸️🌹 බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය සිදු වූයේ වෙසක් පොහොය දිනයක දීය.

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි. එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබුවේ වෙසක් පොහොය දිනයක දීය.

බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා.

එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය සිදු වූයේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

☸️🌹සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම

බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේධ නම් තරුණයෙකු ලෙසින් උප්පත්තිය ලැබුවා. නමුත් සුමේධ තරුණ වියට එළඹෙන විටම ඔහුගේ දෙමාපියන් කළුරිය කළා. ඉන් පසුව සුමේධ තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ, මවගේ, සහ සීයාගේ ධනය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබාදුන්නා. සිය දෙමාපියන් සහ සීයා මියයන විට එකදු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේධ තරුණයා සියළු ධනය ජනතාවට බෙදා දී තාපසයෙකු වනගත වී භාවනා කළා. ඉන් පසුව සෘධි බල ලබාගත් සුමේධ තාපසයා දිනක් සෘධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේ දී සුමේධ තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩීමට නියමිත මඟ එලෙස සකස් කරන බව යි. එදා සුමේධ තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙන මෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩ වලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේධ තාපසයා වෙහෙස මහන්සි වී මාර්ගය පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩ වලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී සිය සිරුරෙන් මඩ වල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩමකරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේධ තවුසා එලෙස වීර්යය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

☸️🌹ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි. ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

☸️🌹බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.

🌹දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම

දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා.

☸️🌻වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්

ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි.

ඉහත සඳහන් කරන ලද සියළුම සිදුවීම් වෙසක් පොහොය දිනවල සිදුවී ඇති නිසා ලොව පුරා සිටින බෞද්ධ ජනතාවට වඩාත්ම වැදගත් පොහොය දිනය වන්නේ වෙසක් පොහොය දිනය යි. එම නිසාම බෞද්ධ ජනතාව එම පොහොය දිනයේ වැදගත්කම මනාව වටහාගෙන සැදැහැ සිතින් යුතුව වතාවත් කළයුතු වනවා.

තෙරුවන් සරණයි!

සුපින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!

Address

Weherahena, Matara
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Weherahena Temple - වෙහෙරහේන පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Weherahena Temple - වෙහෙරහේන පන්සල:

Share