Matara Page මාතර පිටුව

Matara Page මාතර පිටුව අසත්‍යයට, අවිද්‍යාවට හා මිත්‍යාවට එරෙහිව!

"ඊශ්‍රායලය - පලස්තීනය" දිග කථාවක් කෙටියෙන්...----------------------යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.දැනට අවුරුද...
22/10/2023

"ඊශ්‍රායලය - පලස්තීනය" දිග කථාවක් කෙටියෙන්...
----------------------

යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.
දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනව.

හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනව.
ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.

යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනව.
දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ) දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.
මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නව.

එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.
අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්. ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව. මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.

මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දි‍යුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්‍යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.
ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac) ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.

ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.
හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල. දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.

මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ - මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)
නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.
මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.

කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.
මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.
යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.

ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි. යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.

කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්‍රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව.

මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.
යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.
මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.

රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව. යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.
මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව. ප්‍රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක.

මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි.

රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව. මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක.
ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina).
රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව.

යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව.

මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව.

අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ.

මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන. ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය. මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව.

දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව.

මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්.
නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්.
මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය.

යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව.

අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්.

ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්.

මුස්ලිම් ආක්‍රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව.

මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්.
ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යුද්ධය 1291 - 1717 දක්වා දිවෙනව).

බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්.

බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි.

1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව.

මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි.
මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි.

යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන.

මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව.
ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව. යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව.

මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්.
මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න.
මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration)

අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්‍රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව. ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව.

මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව.
බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව ‍යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල.
ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්.
පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්.

පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව. මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ.

1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා.

පලමු ලෝක යුද්ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්‍රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ.යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව.

මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව.
බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව. දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරමින්.
යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් මරා දමනව කිසිම හේතුවක් නැතුව.
ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව.

මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ.

පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ.
ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව.
1948 මැයි දාහතර වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව.

පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි.
හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම.
යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්‍යයක්.

මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ.
මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ.

මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ.
මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ.

ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව. යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ.

ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව. මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව.
1956 සිනායි යුද්ධය.
1967 සය දින යුද්ධය
1973 යොම් කිපූර් යුද්ධය
යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව.

ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව.

ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව.

යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව පලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල.

නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව.

සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව. මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව.
පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය.

අනික් අතට ඊශ්‍රායලයට ජයවේවා කිව්වොත් අසාධාරණයට ලක්වුණු පලස්තීන ජාතිකයන්ට අසාධාරණයි.

මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ.

ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න.
යසර් අර්පත් වැනි නායකයන් යුද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ.
ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි.

ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව.

ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණ‍යක්.

අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ.

ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින අසරණ පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ.

ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව.

මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාශාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි.
ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ.

මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට.

------
මෙය උපුටා ගැනීමකි. මුල් හිමිකරැට ස්තුතියි. මේ සමබන්ද වෙනත් තොරතුරැ/අදහස් සහිත ලිපි තිබේ නම් අපට එවන්න. නැතිනම් comment වලට දමන්න - මාතර පිටුව.

06/09/2023
27/08/2023

අදට සති කිහිපයකට කලින්, මරදන්කඩවල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක වරයෙකු, තම සේවාදායකයෙකු තමන්වෙත ‘සර්‘ නොකියා ‘මහත්තයා‘ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පිළිබදව උරණව හැසිරැණ ආකාරය පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරාම සැරිසැරැවේය. මම ද එය ෂෙයාර් කලෙමි. ඔහු සමාජ මාධ්‍යතුල තදබල විවේඡනයකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් එම වීඩියෝව ලංකාවේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවල ද ප්‍රවෘත්තියක් බවට පත්විය. හදිසි මරණ පරීක්ෂක වරැන්ගේ සංගමය එය හෙලාදැක ඔහු සිය සංගමයෙන් ඉවත්කල බව ද මාධ්‍ය වාර්ථාකලේය. ඔහුගේ ඉරණමේ අවසන් තීන්දුව ද ලියැවුන බව ද වාර්ථාවිය. එහි සත්‍ය අසත්‍ය නොදනිමි.

දැන් එය කීදෙනෙකුට මතකදැයි ද නොදනිමි. ඇත්තටම දැන් ප්‍රශ්නය අවසන්ද? ඔව්! එම පුද්ගලයා පිළිබදව වූ ගැටලුව අවසන්ව ඇත. නමුත් එහි හැබෑ ප්‍රශ්නය රටපුරාම ඇත. එම හදිසි මරණ පරීක්ෂකවරයාගේ වීඩියෝව අපගේ සිත්තුල අප්‍රසාදයක් මෙන්ම උපහාස රසයක් ද නිර්මාණය කලේය. එනමුත්, මෙම අර්බුධය වර්ථමාන ලංකාවේ මිනිසුන් විදවනා ගැඹුරැ තුවාලයකි. සමහරෙක් මෙය සමාජ ආචාරධර්ම නමැති සලුවෙන් වසා දමයි. නමුත් මෙම තත්වයට එදිරිව පෙනීසිටිය හැකි අති බහුතරය එය සිදුකරන්නේ නැත. නියමින් මෙන්ම අනියමින් ද ඔවුන් එය සුරක්ෂාකරයි. මගේ කියවීම එය අපේ සමාජයේ මුල්බැස පවත්නා වැඩවසම් මානසිකත්වය යන්නයි. අපේ සමාජයේ ලොක්කන් හා පොඩ්ඩන් සිටී. සමාජය පෙලෙන්නේ ලොක්කෙකු වීමට ඇති ආශාවෙනි. එයට ‘සර්‘ වැදගත්ම කාර්යයක් ඉටුකරයි. මා මෙයට පෙර සටහන්කල පරදි, ලොකු-පොඩි සමාජයතුල අනුකම්පාව වටිනා භාණ්ඩයකි. එහි ආදරයට ඉඩ නැත. මෙම මානසිකත්වයෙන් සමාජය මුදවාගත හැක්කේ පුද්ගල විරෝධයන් ගොඩනැගීමෙන් නොවේ. එවැනි විරෝධයන් සමස්ත කාර්යයට වැදගත්ය. එහෙත් ‘සර්‘ පරාජයකල හැක්කේ සමාජයේ වැඩවසම් මානසිකත්වය හා වැඩවසම් සමාජ බැදීම් විනාශකර දැමීමෙන් පමණි.

මංගල සමරවීර මහතා එක්තරා අමාත්‍ය ධූරයක් දරනා අවස්ථාවක ඔහු වෙනුවෙන් යම් ව්‍යාපෘතියක සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට මට සිදුවිය. එහි ප්‍රධාන තනතුර අධ්‍යක්ෂක ධූරයකි. මම ඔහුට මිස්ටර් (Mr.) යන වචනය යොදා ඔහුගේ නමින් හා ‘ඔයා‘ ලෙස ආමන්ත්‍රණය කලෙමි. මම එම ව්‍යාපෘතියෙන් සමුගන්නාතුරැම මා කෙරෙහි ඔහුගේ ප්‍රතිචාරය නුරැස්සනා සුලු විය. එම ව්‍යාපෘතියේම ඉහල නිළධාරියෙකු මට කීවේ ‘ඔබතුමා අධ්‍යක්ෂකතුමාට ‍“සර්“ කියන්න ඕන නෑ අඩුතරමින් “අධ්‍යක්ෂකතුමා - ඔබතුමා“ කිලාවත් කියන්න. නැත්නම් මේ වැඩටික කරන්න අමාරැවේවි. එතුමා “ඔයා“ කියනවට, “මිස්ටර්“ කියනවට කැමති නැහැ‘ කියාය.

දිසාපතිවරැ සහ උප දිසාපතිවරැ ලංකාවේ සිටියහ. නමුත් 1980 දශකය අගභාගයේ දී පමණ ලංකාවේ පරිපාලනය තුල දිසාපත්වරැ ‘දිස්ත්‍රික් ලේකම්වරැ‘ ලෙසත්, උප දිසාපතිවරැ ‘ප්‍රාදේශීය ලේකම්වරැ‘ ලෙසත් නම් කෙරිනි. නමුත් මෙම වෙනස පිළිබදව මෙම නිළධාරීන්ගේ අප්‍රකාශිත අකමැත්තක් තිබුනි. ප්‍රාදේශීය ලේකම්වරැන්හට එ් පිළිබදව වෙනසක් ඇතිකර ගැනීමට නොහැකි වුවද එම වෙනස් කිරීමෙන් සැලකිය යුතු කලකට පසු දිස්ත්‍රික් ලේකම්වරැන් විසින් නැවතත් ‘දිසාපති‘ යන නාමය භාවිතයට පටන්ගත්හ. සමහර පිළිගත් නාපපුවරැවල පවා ‘දිස්ත්‍රික් ලේකම්/දිසාපති‘ ලෙස සටහන්කර තිබේ. මම දැනගත් පමණට ඔවුන් ඒසදහා දිස්ත්‍රික් ලේකම් වරැන්ගේ ජාතික සම්මේලනය හරහා රජයේ අනුමැතිය හෝ එකගතාවය ලබාගෙන ඇත.

පසුගිය දා එක්තරා අවස්ථාවක දී මාතර නගරයේ පිලිගත් ආයතනයක ඉහලම නිළධාරිණියක් පිළිබදව මට අපූරැ කාරණාවක් ඉදිරිපත්කලේ ඇයගේම සමීප නිළදාරිනියකි. ඒ අනුව ඇයගේ ප්‍රධානියාට මාතර නගරයේම ඉහලම තනතුරක් දරන අයෙකු සාකච්ඡාවකදී, ප්‍රසිද්ධියේ ‘ඔයා‘ කියා ආමන්ත්‍රණයකර ඇත. ඇය මට කීවේ ‘බලන්න එයැයි කවුද, අපේ මැඩම්ට ඔයා කියන්න! මැඩම් හොදටම තරහින් ඉන්නෙ!‘ කියාය.

ඉහත කරැණු තුන මම සදහන් කලේ ඒවාට සම්බන්ද කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමට නොවේ. පුද්ගලිකව එම තනතුරැ දරන්නන් සමග, එම කාරනා සම්බන්දව මට විරෝධයක් ද නොමැත. මෙම තත්වය කිසිවකු විසින් පුද්ගලිකව නඩත්තු කරන ක්‍රියාවලියක් නොවන අතර ඇත්තෙන්ම මේ ලාංකීය සමාජයේ මනෝභාවයයි. ඇත්තෙන්ම මේ අපේ සමාජය නැතිනම් අපි, සමාජ සංවර්ධයේ දී තවමත් සිටිනා ස්ථානයයි. ඉතින් කලින් කී මරණ පරීක්ෂකවරයාගේ සිදුවීම මෙම සමස්ථ සමාජ මනෝ භාවයේම දිගුවක් නොවන්නේද?

මම ඔබෙන් මෙසේ විමසමි! (උදාහරණයක් ලෙස ‘ජයසේන‘ යන නම ගනිමු) ඔබේ ගම සම්බන්ද රාජ්‍ය නිළධාරියාගෙන් පටන්ගෙන ඉහලම තනතුරක් දරනා නිළධාරියෙකු දක්වා ඕනෑම අයෙකුහට, ඔබේ කථාබහ අතරතුර ‘මිස්ටර් ජයසේන! ඔයාට පුළුවනිද!‘ වැනි වාක්‍යයක් ඇතුලත්කල හැකිද? ඔබට අත්වන ප්‍රතිචාරය කුමක් වියහැකිද?

වැඩවසම් මානසිකත්වයෙන් පිරි අපේ සමාජයේ ‘ජයසේන මහත්තයා‘ කියනවාට වඩා ‘ජයසේන සර්‘ කියා අහන්නට කැමතිය. එය අනෙක් පසින් ගතහොත් ‘ජයසේන සර්‘ කියන විට යටහත් බවකුත්, ‘ජයසේන මහත්තයා‘ හෝ ‘මිස්ටර් ජයසේන‘ යැයි කීවිට දෙපාර්ශවය අතරේ අනුපිලිවෙලින් වැඩි සමාන සමාජ තත්වයක හැගීමක් දැනේ. නමුත් වැඩවසම් ආකල්ප පිරි සමාජයක අපි කැමැත්තක් දක්වන්නේ සමානයන් වීමට නොව ලොක්කන් වීමටය.

ලංකාවතුල ද පුද්ගලික අංශයේ භාවිතාවන්හිදී සාපේක්ෂ අඩුවක් මේ පිළිබදව තිබේ. නමුත් බටහිර ලෝකයේ බොහෝ ආයතනතුල අදහස් හුවමාරැවේ දී එකිනෙකා තම පුද්ගලික නම පමණක් භාවිතා කරයි. ඔවුන් එතනට පැමිණ ඇත්තේ වැඩවසම් සමාජ ආකල්ප වලින් ඉවත්ව හෝ ඈත්ව ගමන්කරමින් සිටින නිසාය.

වැඩවසම් සම්ප්‍රදායන්ගෙන් මිදෙනවා වෙනුවට, ලංකාවේ අපි මෙයට විකල්ප ලෙස වෙනත් වචනයක් ආදේශකරගත් බව මගේ අදහසයි. ‘ඔබතුමා, මෙතුමා, එතුමා‘ ඒ වචන පෙළයි. ජනාධිපති ලේකම් විසින් යාචකයෙකුට වුවද ‘ඔබතුමා‘යැයි කියන අතර එම යාචකයාද පෙරලා ‘ඔබතුමා‘ යැයි කියයි. එය දැන් සමාජ හුරැවක් බවට පත්ව ඇත. එය වෙනුවට ‘ඔයා‘ ආදේශ ලහොත් මහ කලබගෑනියක් වනු නොඅනුමානය. බොහෝවිට,‘ඔබතුමා‘තුල උඩගුකම රැකගතහැකි කුහකකම ද සැගව ඇතිබව මට දැනේ. වැඩවසම් බැදීම් අලුත් ආරකට ක්‍රියාත්මක වෙයි.

එකම උත්සවයක ‘ලේකම්තුමා, දිසාපතිතුමා, පොලිස්පතිතුමා‘ ආදීලෙස සිංහලෙන් ප්‍රකාශකරන ගමන්ම, ඉංග්‍රීසි බසින් එය ‘තුමා‘ නැතිවම ප්‍රකාශකරයි. ඉංග්‍රීසියෙන් HQI, OIC කීවද සිංහලෙන් එයට ද ‘මහත්තයා‘ එකතුවෙයි. කෙනෙකු එය මහත්මා කථා විලාසයක් ලෙස හදුන්වන්නට උත්සාහ කල ද මට එයතුලින් හැගෙන්නේ එක් පාර්ශවයක යටහත් පහත් බවයි. නමුත් සිංහලෙන් කථාකරන විට තනතුරැ නාමය අගට ‘තුමා හෝ මහතා‘ යන්න යෙදීම නතර කිරීමට ලාංකික අපට නොහැකිවනු ඇතැයි මම සිතමි. එය දැන් අපගේ හුරැවකි. අපට එය පත්තියම් වී ඇත. තවමත් අපේ සමාජයේ බොහෝ දෙනෙකු විදේශිකයෙකුගේ කථාව සිංහලට නගන්නේ ‘සුද්දා කිව්වා උඹලාගේ රට කොයිතරම් හැඩද කියලා...‘ ආදී ලෙසිනි. ඇත්තටම සුද්දා ‘උඹලාගේ‘ කියා කීවේ නැත. ඔහු කීවේ YOUR කියාය. නමුත් අපේ පසුගාමී සමාජ හුරැව විහින්ම අපි ‘උඹලා‘ බවට පත්කලේය.

අපට විශිෂ්ඨ භාශාවක් තිබේ. එහෙත් එය අපි විසින්ම වහල් මානසිකත්වයෙන් දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම භාවිතාකරයි.

විවධ අවස්ථා නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ තනතුරැ නාමය ඉදිරිපිට විවිධ නම්බුනාමයන් යෙදීම ලෝකය පුරා සිදුකෙරේ. නමුත් අපේ රටේ බොහෝවිට එය යොදන්නේ පුදගලික නමට ඉදිරියෙනි. වර්ථමාන ජනාධිපතිවරයා සිය රාජකාරි භාරගනිමින් කියා සිටියේ තමන් ‘අතිගරැ‘ ලෙස හැදින්වීම නොකරන ලෙසයි. නමුත් අදටත් ඔහුගේම කාර්යමණ්ඩලයේ සමහරැ ඔහුට එසේ ආමන්ත්‍රණය කරති. මෙයින් මම දකින්නේ සමාජයේ සෑම තරාතිරමකම දීනකමේ අඩුවක් නොමැති බවයි.

සැබවින්ම මේ අප තවමත් නඩත්තු කරමින් පවත්වාගෙන යන්නේ වැඩවසම් සමාජ සම්බන්දතාවයන්ය. වෙළදපොල ආර්ථිකය, ධනේෂ්වර ක්‍රමය ආදිය ගැන කථාකල ද ලංකාවේ අපි තවමත් දිවි ගෙවන්නේ වැඩවසම් සමාජ පසුබිමකය. ඒ සමාජයට ‘සර්‘ලා අවශ්‍යමය. හදිසි මරණ පරීක්ෂකවරයා සිදුකලේ අපේ සමාජය රහසින් තලු මරමරා රසවිදින ‘සර්ලාගේ ලෝකය‘ එලිපිට ප්‍රකාශ කිරීම පමණි. නැතිනම් එම සමාජ නොගැලපීම උලුප්පා පෙන්වීම ඔහු නිසා සිදුවිය. එහිදී ඔහු හෙලාදුටු හෝ එළවා දැමූ හෝ නිල/නොනිල සියලු පිරිස් අති විශාල බහුතරය (එයට සියළුදෙනා යැයි කීවාත් වරදක් නැති තරම්ය) එම ‘සර්ලාගේ ලෝකය‘ සැබවින්ම නඩත්තු කරන්නෝ වෙති. මේ ‘දුෂ්ඨ‘ මරණ පරීක්ෂක ‘එල්ලීමට‘ දායක වීම ජනප්‍රිය ක්‍රියාවකි. නමුත් එම ජනප්‍රියත්වයට මුවා වී නොදැනුවත්වමුත් අප සිදුකර ඇත්තේ ‘සර්‘ රැකගැනීමයි.

සැබවින්ම අර්බුධය ඇතිකලේ හදිසි මරණ පරීක්ෂකවරයා නොව අපේ සමාජයේ පවතිනා වැඩවසම් සමාජ සම්බන්ධතාය. සිදුවූයේ අපේ සමාජය වෙලී පැතිර පවතිනා රෝගය එක් අවස්ථාවකදී ප්‍රදර්ශනය වීම පමණි. ඒ නිසා මරණ පරීක්ෂක වරයා එල්ලීමට වඩා සිදුවූ දෙය කියවාගත යුතුය. බටහිර ලෝකයට වඩා දශක ගණනාවක් පිටුපසින් ජීවත්වන අපි, බටහිර පිළිබදව සිහිනයකින් දිවි ගෙවන්නෙමු. මට අනුව නම් සිදුවූයේ අපේ සිහින අපේක්ෂාව හා අපේ හැබෑලෝකයේ මරණ පරීක්ෂකවරයාගේ ක්‍රියාව අතර ගැටීමයි.

මා මේ සියලු කරැණු වලින් ප්‍රකාශකරන්නේ අපේ සමාජයේ පසුගාමී බවයි. එය පුද්ගල විරෝධයකින් අවසන්කල හැකි, තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක ක්‍රියාකාරකමක් නොවේ. මගේ අදහස ලාංකීය සමාජයේ පරිනාමයවීම හිරවී තිබේ. එක් පැරණි සමාජ ක්‍රමයක් අවසන් වන්නේ අලුත් සමාජ ක්‍රමයක පැමිණීමෙනි. වැඩවසම් සමාජ ක්‍රමය හා එහි ආකල්ප වෙනස්කල හැක්කේ අපේ සමාජයේ ආර්ථික සම්බන්ධතා වෙනස් කිරීමෙනි. නමුත් අපි වසර 75ක් පුරා අපේ සමාජයේ පරිනාමය හිරකිරීමේ වන්දිය අද ගෙවමින් සිටින්නෙමු. ලෝකය අපට වඩා ඉදිරියට ගොස් ඇති බවත්, අප එකතැන බවත් කියමින් තවදුරටත් තිරිංග පාගාගෙනම සිටින්නෙමු. ඉතිං, ඉදිරියට යනවාට වඩා හදිසි මරණ පරීක්ෂක වරයා එල්ලා මැරීමට කැමැත්තෙමු!

විසදුම ඇත්තේ ලාංකීය සමාජයට පරිනාමය වීමට ඉඩදීමෙන් පමණි!

04/07/2023

‘මුතුරාජා‘ යළි සිට රට බලා ගියේය. සැබවින්ම රැගෙන ගියේය. ඒ පිළිබදව කථාන්දර, අදහස්, විවේඡන රාශියකි. එහි කථාන්දර තුල විශාල ප්‍රමාණයක් සත්‍යය ගැබ්ව ඇති බවත් බොහෝ සාධාරණයන්ගෙන් ඒවා පිරී ඇති බවත් මගේ විශ්වාසයයි. එහෙත් ‘ඇති යන්තම් ඒ ප්‍රශ්නය ඉවරයි!‘ කියා අපට සෑහීමකට පත්විය හැකිද? ‘මුතුරාජාලා‘ තව කොතරම් සිටීද!

‘රාජා‘ කෙනෙකු නොවීම නිසාම කිසිවෙකු හැරිලාවත් නොබලන අහිංසකයන් කොතරම්ද? සතා සිව්පාවුන් සියලු දෙනා කෙරෙහි අපේ රටේ මෙම ධර්මතාවය පොදු නොවන්නේද? අද දිනම හොඩවැල කැපී වෙන්වී එල්ලෙමින් තිබෙනා අලියෙකුගේ පුවතක් මෙන්ම ලංකාවේ ප්‍රසිද්ධ විහාරයක පාද හතර ඇද බැද දමා ඇතැයි කියන අලියෙකුගේ ඡායාරෑප ද මුහුණු පොතේ ප්‍රදර්ශනය වෙමින් තිබේ. අදට කලකට පෙර දෙවිනුවර අලියෙකු විදි වේදනාව ද බොහෝසේ කථාවුනා මතක ඇතැයි සිතමි.

බැලූ බැල්මට අපි සිද්ධීන් පිළිබදව පෙනී සිටින්නට නැතහොත් විවේඡනය කරන්නටත්, ඊළග සිද්ධිය පැමිණි පසු කලින් සිද්ධිය අතහැර හෝ අමතක කර දමන්නටත් සමත් සමාජයකි. සමාජයට ද ඒ පිළිබදව විවේඡනයක් ඇතිමුත් ක්‍රියාමාර්ගයක් නොමැත.

අපි අනුකම්පා විරහිත සමාජයක් යැයි මම කිසිසේත්ම නොකියමි. ලාංකීය සමාජය විවිධ චලනයන්මත වුවද අනුකම්පාවෙන් පිරීගොස් ඇති බව මගේ අදහසයි. එහෙත් එකී අනුකම්පාවට ඉහත අසාධාරණයට එරෙහිවීමටවත්, එහි අඩුව පිරවීමටවත් කිසිවක් ඉටුකල නොහැකිය. අපේ රටතුල අණුකම්පාව ‘භූමිකම්පාවක්‘ වී තිබේ. සරණක් නැති බල්ලෙකු හෝ බළලෙකු වෙනුවෙන් නිවසේ පඩිය කොනේ ඉතිරි බත් ටිකක් කෑමට සැලසීම අපේ සාමාන්‍ය පැවත එන ගැමි පුරැද්දකි. ඒත් ඒ සතා අපේ නිවසේ නිතර ගැවසෙනවාට අපි කැමති නැත. වරැසාවකට ගෙට නොව ඉස්තෝප්පුවටවත් ගොඩවනවාට කැමති නැත. කෙටියෙන් කියතොත් අනුකම්පා කලාට ඕවෑවට වඩා ඇගෑලුම්කම් වලට අපි කැමති නැත. වගකීම් ගන්නට කැමති නැත.

මේ තත්වය නිසාම ‘අනුකම්පාව‘ අපේ රටේ අවස්ථාවාදීන්ට කදිම වරමක් සපයා තිබේ. බලුකපුටු දානයේ සිට පොත් බෑගයක් නැති දරැවෙකුට පොත් බෑගයක් දෙන තැන ද පසුකරමින් මෙය ක්‍රියාත්මකය. දානපතියන් ලෙස පෙනී සිටිමින් බඩු බෙදන බහුතරයක් මහත්වරැන් කරන්නේ ද පොඩ්ඩන්ට සලකන ලොක්කෙකු වීමය. ‘මම කැමති අහවල් FMඑක‘ යැයි කියන අයට රැපියල් 1000 කොළ බෙදා රෑපවාහිනියේ පෙන්වන මාධ්‍ය මුදලාලිලා කරන්නේ ද මේ වැඩවසම් සම්ප්‍රධාය සහතික කරමින් තමන්ගේ අධිකාරීත්ව පැතිරවීමය.

මෙහි වැඩිම වාසිය ගනු ලබන්නේ දේශපාලකයින්ය. බලය ලබාගැනීමටත්, බලය පවත්වාගැනීමටත් ඔවුහු අනුකම්පාකරති. මේ හැම තැනකදීම පිහිට ලබන්නාගේ දෙනෙත්වල හා අංග චලනයේ ඇති යටහත් පහත් බව ඕනෑම අයෙකුට දැකිය හැකිය. දේශපාලනයේ දී මෙම ‘අනුකම්පාවේ දේශපාලනය‘ තවත් පැතිකඩක් අත්කර ගනී. අනුකම්පාව බෙදාහරින දේශපාලකයන්ගෙන් මගහැරැන මිනිසුන් අවධිකර ප්‍රකෝප කිරීම ඒ ක්‍රියාවලියයි. එනම් අනුකම්පාවට ලක්නොවුන සමාජයට අනෙක් දේශපාලකයින් පිරිස අනුකම්පාව පතුරවයි. මේ මොහොතේ ‘අනුකම්පාව‘ අපේ රටේ භියකරැම දේශපාලන අවියයි. එය විදිමත්ව කියවා ගන්නට අසමත්වන හැම විටම තුවාල ලබමින් සිටින්නේ ලාංකීය සමාජයම බව නොකියාම බැරිය. මෙය දේශපාලනයට මෙන්ම මාධ්‍යයට ද වෙනස්ම ඝණයේ ඉල්ලමකි.

ඉතින්, මුතුරාජාට අනුකම්පා කිරීම අගනා කටයුත්තක් වනමුත්, එම අනුකම්පාවෙන් ‘මුතුරාජලා‘ බේරාගත නොහැකිය.

අනුකම්පාව තුල ‘ඇති-නැතිකම‘ අඩංගුව තිබේ. ඇත්තෙකු විසින් නැත්තෙකුට ලබාදීම එහිදී සිදුකෙරේ. අනුකම්පාවට ලක්වූ පුද්ගලයා තුල අසරණකමක් නැතිනම් යටහත් බව නිතැතින්ම මම දකිමි. අනුකම්පාව ප්‍රකාශකල පුද්ගලයාතුල ද එලෙසින්ම අධිකාරීබවක් නිර්මාණය වෙයි. සැබවින්ම අනුකම්පාව තුල ලොක්කෙකු හා පොඩ්ඩෙකු සිටී. ඒ තුල ඇතිවන සම්බන්දතාවය නොදැනුවත්වම මුත් වැඩවසම් ස්වරෑපයක් ගනී. එයින් මම අනුකම්පාව ප්‍රතික්ෂේප කලයුතුයැයි අදහස් නොකරමි. අනුකම්පාව සමාජයකට අවශ්‍යය. නමුත් ප්‍රතිඵලයක් නොමැති, කෙලවරක් නොමැති අනුකම්පාව, කලකිරීමටපත් සමාජය තුල අතෘප්තිය, වෛරය, ක්‍රෝධය හා පලිගැනීම නිර්මාණය කරයි. ඒ අනුකම්පාව කල්පවතින විසදුමක් නිර්මාණය නොකරන බැවිනි. දේශපාලනයේදී ද එය එකසේ පොදුය. අතොරක් නැතිව ප්‍රදර්ශණය කරන අනුකම්පාව අපේ රටට ලබාදුන් ඉටිගෙඩියක් නම් නොමැත. එය ආත්ම විශ්වාසය, අභිමානය හා විශ්වසනීයත්වය විනාශකර ඇත. එය සමාජයේ දිගුකාලීන බැදීම් තහවුරැ නොකරයි. නමුත් ‘අනුකම්පාව‘ කෙටි කාලීනව අතිශය ජනප්‍රියය. එය ක්ෂණිකවම ප්‍රදර්ශනාත්මකය. එසේම එයට තත්පර ගණනකින් සමාජයක් වුව ද ඇවිලිය හැකිය. ‘අනුකම්පාව‘ ක්ෂණික අවශ්‍යතාවයන්හිදී අතිවිශාල වටිනාකමක් ද දරයි. මෙම ක්ෂණික වටිනාකම කෛරාටිකයන් විසින් සිය දිගු කාලීන අරමුණු වෙනුවෙන් භාවිතා කරයි.

අනුකම්පාව විසින් විශාලතම විනාශය සිදුකර ඇත්තේ ‘ආදරය‘ වෙතය. ‘ආදරය‘ මිනිසුන් සම මට්ටමට රැගෙන එයි. ‘ආදරය‘ ප්‍රකාශ කරන්නා ද ලබන්නා ද එකම තලයක හිදුවා එකිනෙකාට ගරැකරයි. උස්මිටිකම් නොසලකයි. ‘ආදරය‘ විසින් තෘප්තිය, මෛත්‍රිය, සමානාත්මතාවය මෙන්ම විශ්වසනීයත්වය ගොඩනගයි. එය ආත්ම විශ්වාසය, අභිමානය මෙන්ම බලාපොරොත්තු ජනිතකරවයි. එය සමස්ත සමාජයේම බැදීම් වැඩි දියුණු කරයි, නීතියට හා ආචාර ධර්මයන්ට ගරැකරයි, වගකීම් සහගත කරයි. කල්පවතින විසදුම් නිර්මාණය කරයි. දරැණු පරාජයන් හමුවේ වුවත් ජයග්‍රහනයේ මාවත සොයැ ගැනීමට මිනිසා කුළු ගන්වයි. ‘ආදරය‘ ධනාත්මක සමාජ පෙළඹවීමකි. නමුත් එය දැනෙන්නටත්, තහවුරැ වන්නටත් කාලය අවශ්‍යය. සැබවින්ම ‘ආදරය‘ වැඩවසම් ලක්ෂණ වලින් පිරැණ සමාජයකට නොව නිදහස්කාමී ලොවකට නෑකම් කියයි, ඊට සමාජය පොළඹවයි!

අපි අනුකම්පාවට වඩාත් සමීප ජාතියකි. එය පහසුය. හැඟවීමට වචනයක් වුවද ප්‍රමාණවත්ය. ආදරයට අපි දුරය. එය වගකීමකි. එය සමග ගමන්කල යුතුය.

අනුකම්පාව හදිස්සියකට අත්‍යාවශ්‍ය අංගයක් පමණි. එය සිද්ධියෙන් සිද්ධියට හටගන්නා අතර නැවත නැවත අපට මුතුරාජලා මුණගස්වනු ඇත. එබැවින්, මුතුරාජලා ඇතුලු සතා සිව්පාවන්ටත්, ගහකොළටත්, මානව සමාජයටත් කල්පවත්නා විසදුම් මාවත වැටී ඇත්තේ ‘ආදරය‘මත පමණි. එය විරෝධය පෑමට නොව එකගවීමට ඇති අවම කරැණු හෝ සොයයි. පවුලේ පමණක් නොව සමස්ථ සමාජයේම සතුට හා සොම්නස රැදී ඇත්තේ ආදරය තුලය. ‘ආදරය‘ පුද්ගලික ජීවිතය පමණක් නොව සමාජය ද සොඛ්‍ය සම්පන්නකර ප්‍රබෝධමත් කරවයි. ‘ආදරය‘ ක්‍රියාවලියකි.

ඉතින්, ආදරය බෙදාහරින මිනිසුන්ට අපේ රටේ සුවිසල් ඉඩක් ඉතිරිව තිබේ. එහෙත් අභියෝගයක් තිබේ. අපි පුරැද්දක් හැටියට දෙකට බෙදී සිටී. අනෙකාට විරැද්ධ වීමට කරැණු සොයමින් සිටී. ඒ අතර, අනුකම්පාව විසින් ආදරයේ ‘ඇදුම්‘ සොරාගෙන තිබේ. එසේම බොහෝ විට දී අනුකම්පාව හා ආදරය එකටම කටයුතු කරයි. එහි වෙනස නොපෙනෙන තරම් සමීපව ද හිදී. ඉතින්, එය සංයමයෙන් අපේ මිනිසුන්ට පෙන්වා දිය යුතුව තිබේ! සැබවින්ම ශ්‍රී ලංකාවට ආදරය අවශ්‍යව තිබේ! ජයග්‍රහන එහි රැදී තිබේ.

මම,
උපුල් නිශාන්ත සුභාවික්‍රම.

22/12/2022

ව්‍යාධිවේදයෙන්ම සමලිංගිකභීතික රුසියාවට “බටහිර ගැති” යුක්රේනය සැපයූ ආදර්ශය..

පුවත: https://sinhala.lankanewsweb.net/12/22/38175/

Address

Fransis Samaraweera Mw
Matara

Opening Hours

Tuesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Saturday 09:00 - 15:00

Telephone

+94412222076

Website

Alerts

Be the first to know and let us send you an email when Matara Page මාතර පිටුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Matara Page මාතර පිටුව:

Share

මංගල සටන ඇරඹේ

මංගල සටන ඇරඹේ