28/06/2024
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව
ජුනි මසට අදාල කුණ්ඩසාලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද(28) උදෑසන කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී පසුගිය මස සිදුකරන ලද සංවර්ධන වැඩසටහන්වල සහ ආයතනවල ප්‍රගතිය විමසා බැලීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් වූ ලිපි සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රගතිය විමසා බැලීම මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදවද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් පහත ගැටළු සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුව වෙත කරුණු ඉදිරිපත් කළේය.
අඹකොටේ ප්‍රදේශය සිංහල දෙමළ මුස්ලිම් සහ ක්‍රිස්තියානි යන සියලු ආගම් නියෝජනය කරන ජනතාවක් ජීවත් වන බහු ආගමික ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඉතා දුප්පත් හා දුෂ්කර ජීවිතයක් ගෙවන බවත් මෙම ප්‍රදේශයේ සිදුකෙරෙන නීති විරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගැනීමට දැඩි බාධාවක් එල්ල වී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයද අඩාල වීමට හේතුවක් වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය මේ දක්වාගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවත් මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩලීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර ප්‍රදේශයේ ආරකෂාව තර කරන ලෙස අඹකොටේ පොලිස් ස්ථානාධිපතිතුමන් වෙත දැනුම් දුන්නේය. තවද අලුතින් ආරම්භ කරන ලද අඹකොටේ පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් පොලිස් ස්ථානයට අවශ්‍ය නිසි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අනුයුක්ත කරන ලෙසටද ඉල්ලා සිටියේය.
තවද මෙම ප්‍රදේශයෙි මාර්ග දෙපස ඇති විදුලි පහන් අක්‍රීය වී ඇතින් බැවින් රාත්‍රී කාලයේ මෙම ප්‍රදේශයේ සිදුවන අකටයුතුකම්ද වැඩි ඇති බවත් පෙන්වා දුන් අතර එම විදුලි පහන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කරන ලදි.
ඊට අමතරව පෞද්ගලික බස් රථ 13ක් ධාවනය වුවද එම බස් රථ ගමන් කරන්නේ මහනුවර සිට දිගන දක්වා පමණක් වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට ලක්වන බැවින් එම බස් රථ නිසි ගමනාන්ථය දක්වා ගමන් කරන ලෙස ප්‍රවාහන අධිකාරියට දැනුම් දුනි.
මීට අමතරව කුණ්ඩසාලේ නව නගරය සහ මහවත්ත යන ගමට ගමන් කිරීමට ඇති මාර්ගය 2013 වර්ෂයේදී වසා දැමීම සම්බන්ධව කමිටුවේ අවධානය යොමු කළ අතර එම මාර්ගය පෙර පරිදි ගම්වාසීන්ට ගමන් කිරීමට හැකි ආකාරයට සකස් කරන දෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් වෙත උපදෙස් දුනි.
ආයුර්වේද දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය කාර්යාලය, තෙල්දෙණිය, මැණික්හින්න, වත්තේගම, පන්විල හා බලගොල්ල ශ්‍රී ලංකා පොලීසිය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජලසම්පාදන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල ප්‍රගතිය ඉදිරිපත් කිරීමද සිදු විය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම්තුමන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරින්, තාක්ෂණ නිලධාරින්, සංවර්ධන නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මැතිතුමන්ගේ සම්බන්ධීකරණ නිලධාරී සරත් වනසේකර මහතා ද එක්ව සිටියහ.
2024-06-28
#සමගිජනසන්ධානය #වසන්තයාපාබණ්ඩාර #කුණ්ඩසාලේ
SJB News