25/09/2023
♦️|.අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සමරුව .|2023|♦️
⛔️ සැප්තැම්බර් 17 ට යෙදී තිබුණ අනගාරික ධර්මපාලතුමාගේ 159 වන ජන්ම දිනය නිමිත්තෙන් ගුණ සමරු උලෙළක් පසුගිය 18 වන දා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම උලළේ ප්‍රධාන ආරාධිත දේශකයා වූයේ ත්‍රිපිටක විශාරද, ප්‍රවීණ ලේඛක හා පර්යේෂක ගයාන් චානුක විදානපතිරණ මහතායි.
⛔️ ශ්‍රී ලංකා රාජ්‍යය විදේශීය ආධිපත්‍යයට නතුව පැවති සමයක, රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්, අභීතව පෙනී සිටි අනගාරික ධර්මපාලතුමන් කළ කැපවීම ඓතිහාසිකය.
⛔️ ඔහු මෙරට තුළ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළා පමණක් නොව දේශීයත්වයට මුල් තැන් දීමට පෙරමුණ ගත්තේය. හරක් මස් කෑමට විරුද්ධව ඔහු රට පුරා ඇවිද්දේය. මත්පැන් පානයෙන් සිදු වන අගතිය කල් තියාම ප්‍රකාශ කළ ඔහු මත්පැන් පානය තදින්ම විවේචනය කළේය. දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කිරීමට පෙරමුණ ගත්තේය. පන්සිල් රැකීම ජාතික වගකීමක් කළේය.
⛔️ එබැවින් ගතවූ සියවස තුළ මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අතර ඉහළින්ම කියැවෙන නාමය වන්නේ අනගාරික ධර්මපාල නාමයයි.
⛔️ජාතියක් වශයෙන් අප මහා අඳුරු ඉරණමක ඇද වැටී සිටි මොහොතක අනගාරික ධර්මපාලතුමා යනු දැයේ ඉරණම තනිව සියතට ගෙන ඉතිහාසය වෙනස් කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි. මෙරට ජාතික සටනේ තීරණාත්මක කඩඉමකට පණ දුන් යුගකාරකයෙකි.
⛔️තනතුරු, බලය, ධනය ආදී පෞද්ගලික අපේක්ෂාවලින් තොර සමාජ දේශපාලන අරගලයක් වෙනුවෙන් පරහිතකාමීව සිය දිවි පෙවෙත කැප කළ අයෙකි.
⛔️ආගම, ජාතිය, සංස්කෘතිය හා නිතැතින්ම ගැට ගැසුණු යටත් විජිතවාදයේ බියකරු දේශපාලන න්‍යාය පත්‍රය ගැඹුරින් අවබෝධ කර ගැනීමට විසල් මනසක් තිබූ මිනිසෙකි.
⛔️ආගම්වාදියෙකු, ජාතිවාදියෙකු නොවුණද ඒ අතිශය දියුණු දේශපාලන අරගලය පොදු ජනතාවට වැටහෙන සරල කඨෝර ක්‍රමවේදවලට ගොනු කිරීම නිසා ම ජාතිවාදියෙකු ආගම්වාදියෙකු යයි අයුක්ති සහගත ලෙස චෝදනාවලට ලක් වූවෙකි.
⛔️එතුමන්ගේ සටන මතුපිටින් බැලූ විට ආගම්වාදී ජාතිවාදී එකක් ලෙස වර්තමාන යුගයේ ජීවත් වන අයට පෙනී යා හැකි වුවද, එය අප තේරුම් ගත යුත්තේ එදා පැවති සමාජ තත්ත්වය හා මාතෘභූමිය මුහුණ දී තිබූ තත්කාලීන අභියෝගවලට සාපේක්ෂවය.
⛔️වර්තමානයේ දී පවා ඊනියා රැඩිකල්, ලිබරල්, වාමාංශික, නිරාගමික සටන් පාඨ ඔස්සේ රට ජාතියේ බෙල්ල කැපෙන මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට බොහෝ අයට හැකියාවක් නැති වුව ද, මීට සියවසකට පෙර ජීවත් වූ ධර්මපාලතුමා ඒ දුෂ්ඨ ක්‍රියාන්විතය මැනවින් විනිවිද දුටුවේ තුන් කල් දකිනා ඉසිවරයෙකු පරිද්දෙනි.
⛔️එදා 56 පෙරළියේ සිට 2009 ත්‍රස්තවාදය පරාජය කිරීම දක්වා වූ අපේ ජාතික සටනේ සෑම සන්ධිස්ථානයකම ඔහුගේ හඬ, ඔහුගේ හුස්ම, ඔහුගේ ජීවය තවමත් සදාතනිකව රැඳී තිබේ.
⛔️මෙවැනි සුජාත පුතුන් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටනේ උස් අභිලාෂයන් අප කිසිදාක අමතක කළ යුතු නැත.
එනිසා සමරු දෙසුමකින් සහ ධර්මපාල චින්තනය විදහා දැක්වෙන චිත්‍ර| පෝස්ටර්| වැනි ඉසව් කිහිපයක් ඔස්සේ තරග පවත්වා දම්පල් දූ පුතුන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.
⛔️විද්‍යාලයීය භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් පරිදි බෞද්ධ සංගමය භාර තක්ෂිලා ක්‍රිෂාන්ති මහත්මියගේ මූලිකත්වයෙන් හා සෙසු ගුරුවරුන්ගේ සහයෝගයෙන් උත්සවය සංවිධානය කැරුණි.🙂