05/06/2026
දිස්ත්‍රික්කයේ සියලුම ඉඩම් ග්‍රාම සේවා වසම් මට්ටමින් සිතියම්ගත කිරීම
================================
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා මහා මාර්ග අමාත්‍යාංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු ඒකකය හා එක්ව පසුගියදා වැඩසටහනක් සංවිධානය කර තිබුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී. ඒ, රජයේ ඉඩම් කැබලි මිලියන 10 ක මායිම් තොරතුරු සලකුණු කර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විද්‍යුත් ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ලෙසින්.
රජයේ ඉඩම්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයෙන් විවිධ රාජ්‍ය ආයතන මගින් පරිපාලනය කරනු ලබන රජයට අයත් ඉඩම් මායිම් සලකුණු කර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විද්‍යුත් ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සහ රජයේ ඉඩම් කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂමව විනිවිදභාවයෙන් යුක්තව, තාක්ෂණිකව ඉදිරියට ගෙනයාම මෙහි ප්‍රධාන අරමුණයි. පොදු අරමුණ මෙසේ වුවත් දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ඉඩම් සිතියම්ගත කිරීමයි මෙම වැඩසටහනේ මූලික අරමුණ වුණේ.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා විවිධ පරිපාලන කටයුතු පහසු කර ගැනීම සඳහා දිස්ත්‍රිකයේ භූමිය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති කිරීම සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්, පෞද්ගලික ඉඩම්, මුඩු ඉඩම්, කුඹුරු, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර, ග්‍රාම නිලධාරී වසම්වල වපසරිය, ආදී පරිපාලන කටයුතු පහසු කර ගැනීම සඳහා මෙම කාර්යය වඩාත් පහසු වන අතර ක්ෂය වෙමින් පවතින ඉඩම්වල ඇතිවන මායිම් පිළිබඳ ප්‍රශ්න ගැටුම් නිරාකරණයටත්, දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමටත්, නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය භූමි ප්‍රදේශ හඳුනා ගැනීමටත් මෙම කාර්යය මගින් වඩාත් පහසුවේ.
මෙම භූමිස්කෙච් භාවිත මාර්ගෝපදේශන වැඩසටහන පිළිබඳව අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සම්පත් දායකයින් ලෙස සහභාගි වෙමින් මිනින්දෝරු අධිකාරී (කෑගල්ල), මිනින්දෝරු අධිකාරී (මූලස්ථාන), රජයේ මිනින්දෝරු, තණමල්විල ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන් දායකත්වය සපයමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුම්වත් කිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුය. මෙම ඉඩම් තොරතුරු පද්ධතිය මගින් කොට්ඨාසයේ පවතින ඉඩම් සම්බන්ධව සම්පූර්ණ චිත්‍රයක් එකම ස්ථානයකින් ලබාගත හැකිවීම, ඉඩම් ආරවුල් විසඳා ගැනීමට පිටුවහලක් වීම, නිලධාරීන්ට රාජකාරිය කිරීමට පහසුවීම එමගින් කාලය හා ශ්‍රමය ඉතිරි වීම, නවීන තාක්ෂණය හා අනුගත වීම මෙම පද්ධතිය මගින් ඇතිවන ප්‍රයෝජන කිහිපයකි.
මෙම වැඩසටහන සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත (ඉඩම්), සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, මොණරාගල තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවා නිලධාරීතුමන් සහ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජනපද නිලධාරීතුමන්, දිස්ත්‍රික් ඉඩම් අංශයේ නිලධාරින්, තොරතුරු තාක්ෂණ නිලධාරීන්, පරිපාලන ග්‍රාම සේවා නිලධාරීන් මේ සඳහා සහභාගි විය.