11/03/2022
~ ශෝකවීම් නවයක් ~
_____________________
ප්‍රඥාවෙන් වෙන්වී තර්කවාදයට ද, ගමෙහි පාරෙන් වෙන්වී මුඩුක්කු මාවතට ද, ආගමෙන් ඉවත්වී භක්තියට ද ගමන් කරන ජාතියකට ශෝකය ම අත්වෙයි.
තමන් පානය කරන මුද්‍රික පානය පෙරා නො ගන්නා වූ ද, තමන් ආහාරයට ගන්නා දැය වගා නො කරන්නා වූ ද, තමන් අඳින වස්ත්‍රය වියා නො ගන්නා වූ ද ජාතියට ශෝකය ම අත්වෙයි.
ජයග්‍රාහකයාගේ ගර්වය සදාචාරයේ පරිපූර්ණභාවය ලෙස දකින්නා වූ ද, ජයග්‍රාහකයාගේ විරූපභාවය සුන්දරත්වය ලෙස දකින්නා වූ ද පරාජිත ජාතියට ශෝකය ම අත් වෙයි.
තමන්ගේ සිහිනය තුළ දී සටන් වැද තුවාල ඇති කැර ගන්නා වූ ද , තමන් අවදියෙන් සිටිය දී වැරැදිකරන්නන්ට යටත් වන්නා වූ ද ජාතියට ශෝකය ම අත්වෙයි.
අවමඟුලක දී හැර අන් තැනෙක දී තම කටහඬ අවදි නො කරන්නා වූ ද, මිනී වල අසළ දී තම කීර්තිය ප්‍රදර්ශනය කරන්නා වූ ද, කඩු මුවහත යටට තමන්ගේ ගෙල ළං වන තුරු ම කැරැලි නො ගසන්නා වූ ද ජාතියට ශෝකය ම අත් වෙයි.
තමන්ගේ දේශපාලනය 'කෛරාටිකකම' බවට පත් කැර ගන්නා වූ ද, තමන්ගේ දර්ශනය විජ්ජාවක් බවට පත් කැර ගන්නා වූ ද , තමන්ගේ කර්මාන්ත පැලැස්තර දැමීමක් බවට පත් කැර ගන්නා වූ ද ජාතියට ශෝකය ම අත් වෙයි.
නළා පිඹිමින්, බෙර ගසමින් ජයග්‍රාහකයාට සුබ පතා, අනතුරුව තවත් ජයග්‍රාහකයකුට හොරණෑවෙන් හා ගීතයෙන් සුබ පතනු පිණිස, පෙර ජයග්‍රාහකයා කෝපයෙන් පිඹ ඉවතට යවන ජාතියකට ශෝකය ම අත් වෙයි.
කිසියම් ජාතියක 'මුනිවරයා ගොළුව සිටියි' ද, ඔවුන්ගේ ජයග්‍රාහකයා අන්ධ භාවයෙන් පෙළෙයි ද, ඔවුන්ගේ උපදේශකයා නන්දොඩවන්නෙක් වෙයි ද ඒ ජාතියට ශෝකය ම අත් වෙයි.
එක් එක් 'ගෝත්‍රය' නමින් 'ප්‍රධාන ජාතිය' යැයි අයිතිවාසිකම් කියා ගන්නා ජාතියට ශෝකය ම අත්වෙයි.
෴ ඛලිල් ජිබ්රාන් සුභාෂිතය ෴
( පරිවර්තනය - ආනන්ද අමරසිරි)