26/05/2026
*ගම්මිරිස්,* නොම්මර එකේ කළු ගම්මිරිස් කරන 'උණු දිය ප්‍රතිකාරය'
පියවරෙන් පියවර.....
⭕උණු දිය ප්‍රතිකාරය, උසස් තත්ත්වයේ (No. 1) කළු ගම්මිරිස් නිපදවා ගැනීමට ඉතාමත් වැදගත් පියවරකි.
උණු දිය ප්‍රතිකාරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
⭕ සුදු යකඩ දැල් කූඩයක් හෝ පිරිසිදු කපු රෙදි මල්ලක්
⭕ ජලය රත්කර ගැනීම සදහා සුදු යකඩ හෝ මැටි බාජනයක්
⭕ ලිපක් (දර හෝ ගෑස් ලිපක්): වතුර එක දිගට රත් කර තබා ගැනීමට.
⭕ ප්‍රතිකාරයෙන් පසු ගම්මිරිස් වේලා ගැනීමට,
වියළනය
⭕ හිරු එළියෙන් වියලා ගන්නේ නම්,පිරිසිදු පැදුරක් හෝ
සුදු යකඩ දැල් සහිත වියලන තැටි
🟢 සිදුකරන ආකාරය (සම්පූර්ණ පියවර)
1. කරල් වලින් වෙන්කරගත් ගම්මිරිස් බීජ සුදු යකඩ දැල් කූඩයට හෝ කපු බෑගයට දමා ගැනීම.
2. මැටි හෝ සුදු යකඩ භාජනයට ගම්මිරිස් බෑගය/කූඩය සම්පූර්ණයෙන්ම ගිල්වා ගත හැකි වන පරිදි වතුර පුරවා රත් කර ගැනීම.
3. ජලයේ උෂ්ණත්වය පාලනය: වතුර හොඳින් රත් වී නටන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 පැමිණි පසු ලිපේ ගින්දර තරමක් අඩු කරන්න.
4. තැම්බීම (Blanching): ගම්මිරිස් අඩංගු කූඩය හෝ කපු බෑගය එම උණු වතුරේ විනාඩියක් පමණක් ගිල්වා තබාගෙන වහාම ඉවතට ගන්න.
5. දිය බේරීම: ඉවතට ගත් ගම්මිරිස් කූඩය/බෑගය මඳ වෙලාවක් තබා එහි ඇති අමතර වතුර හොඳින් බේරී යාමට හරින්න.
6. වේලීම:
වතුර බේරුණු වහාම පිරිසිදු පැදුරක් හෝ සුදු යකඩ දැල් සහිත තැටි මත තනි තට්ටුවේ බීජ ඝනකම ට තුනීව අතුරා වියලා ගන්න.
(රාක්ක මත තැටි හෝ පැදුර තැබීම මගින් බිම ස්පර්ශ නොවන බැවින් දූවිලි හා අපද්‍රව්‍ය එකතු නොවේ).
පෝපග්රේටර් / පැල කුටිය තුල වියළීම
ස්වභාවික හිරු එළියෙන් වියළීම මෙහීදී ද සිදු වේ.
වර්ෂාව පවතින දින වලදී වැස්සෙන් අස්වැන්න ආරක්ෂා කරගත හැකි අතර අපද්‍රව්‍ය එක්වීම වලක්වාගත හැක. ඒ වගෙම කුටිය තුල උෂ්නත්වය වැඩි නිසා ඉක්මනින් වියලා ගැනීමට හැක.
කෘතිම වියලන (Mechanical Dryers) භාවිත කරන්නේ නම්:
පාලිත උෂ්ණත්වයක් යටතේ කෘතිම වියලනය තුළ බහා ඉතා කෙටි කාලයකින් නිවැරදි තෙතමනය මට්ටමට (12% දක්වා) වියළා ගන්න.
✅ සුදු යකඩ තැටි සහ කෘතිම වියලන භාවිතයේ වාසි:
1. උසස් සනීපාරක්ෂක තත්ත්වය:
පස්, දූවිලි, සත්ව මලපහ හෝ වෙනත් බාහිර අපද්‍රව්‍ය මිශ්‍ර වීමේ අවදානම සම්පූර්ණයෙන්ම නැති වී යයි.
2. දිලීර (Aflatoxin) අවදානම අවම වීම:
කෘතිම වියලන මඟින් කාලගුණ විපර්යාස හමුවේ වුවද එක දිගට වියළීමේ හැකියාව පවතින බැවින් අහිතකර දිලීර (Aflatoxin) ඇතිවීම වැළකේ.
3. ඒකාකාරී නිමාව සහ ඉහළ මිල:
ගම්මිරිස් තොගයම එක ලෙස වියළෙන බැවින් අපනයන වෙළඳපොළේ නොම්මර එකේ (No. 1) ඉහළම මිලක් ලබා ගත හැකිය.
7. වියළීම සිදුකරන ආකාරය: පෙ.ව. 8 සිට 11 තෙක් හිරු එළියෙන් වියළීම පෙ .ව. 11 සිට ප.ව 2 දක්වා අකුලා සෙවනට ගැනීම නැවත 2 ට හිරු එළියෙන් වියළීම. මෙලෙස දින 3-4 ක් කඩින් කඩ වියලා ගැනීම. ඉන්පසු දින 3-4 ක් තද අව්වේ හොඳින් වියළා ගන්න.
මෙම ප්‍රතිකාරය මඟින් ලැබෙන වාසි
ආකර්ෂණීය කළු පැහැය සහ රැළි ඇතිවීම:
ගම්මිරිස් බීජාආවරණයේ (පොත්තේ) ඇති එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා වේලීමේදී ඒකාකාරී, දිලිසෙන තද කළු පැහැයක් ලැබීම සහ ගැඹුරු රැළි ඇතිවීම.
වියළීමේ කාලය අඩුවීම:
බීජ මතුපිට සෛල බිත්ති බිඳ වැටෙන නිසා සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් (දින ගණනක් අඩුවෙන්) වියළා ගත හැක.
පිරිසිදු බව:
මතුපිට ඇති දූවිලි, කෘමි හානි සහ ක්ෂුද්‍ර ජීවීන් (දිලීර/බැක්ටීරියා) විනාශ වී අපනයන තත්ත්වයේ ඉහළ ප්‍රමිතියක් ලැබේ.
කාංචනා රත්නායක මහත්මිය
දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීනී
ගම්පහ දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
#ගම්මිරිස් #කළුගම්මිරිස්