01/04/2026
ඉංගිරිය ඔරලෝසු තටාකය
ඉංගිරිය නගරය පසුකර පානදුර දෙසට කිලෝමීටරයක් පමණ පැමින හමුවන රිනවුන් ගරාජය ඉදිරිපිට ඇති ඉසුරුපුර මාවතේ ගමන් කරන විට බුදු පිළිමයක් හමුවේ. එම බුදු පිළිමය අසලින් වමටට හැරී මඳ දුරක් ගමන් කරන විට දකුණු පස ඉංගිරිය ඔරලෝසු තටාකය පිහිටා ඇත.
ඉංග්රීසී අධිරාජ්යවාදී පාලනය පවතින සමයේ ඉංගිරිය වත්ත අයත්ව පැවතියේ සොයිසා නම් ධන කුවේරයෙක් සතුවය. එතුමාගේ හිමිකාරීත්වය නිසාම ඉංගිරිය වත්තට සොයිසා වත්ත යන නාමයද පබැඳිණ. සොයිසා වත්තේ සොයිසා වලව්ව පවතියේ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය අද පවතින ස්ථානයට මදක් ඔබ්බෙනි. අද එය රෙස්ටුරන්ට් එකක් ලෙසින් නමුදු සුරැකිව පවතී.
අතීතයේ සොයිසා වත්ත අලංකාරයෙන් අනූන විය. ඉංගිරිය වත්තට ඇතුලු වන දොරටුවේ සිට දැවැන්ත කොස් ගස් වැටියක් ප්ර්ධාන මාවතේ විය. රඹර්, පොල් සහ තේ මෙම වත්තේ එකළ වගාකළ භෝගයන් විය.
වත්තේ හිමිකුරු සොයිසා මහතාට, ඔහුගේ පවුලේ අයට මෙන්ම නෑසියන් හිතමිතුරන්ට දිය කෙළීමට තාටාකයක් තැනීමට සිතක් පහළ විය. මේ බව ඔහු විසින් ගිලීමළගේ පොඩියදු කන්කානමට දැනුම් දුන් ඉක්බිති ඔහු විසින් පානදුරයෙන් හා රමුක්කනින් ගල් වඩුවන් ගෙන්වා අලංකාර ඕවලාකාර හැඩැති ගල් කුට්ටි හා සමචතුරස්රාකාර ගල්කුට්ටි කපා ගල්මුල්ල කන්දේසිට ගලා එන පිරිසිදු අලංකාර දිය පහරක් ඇසුරෙන් පැරණි බට්ටා ඔරලෝසුවක හැඩැති ශෛලමය තටාකයක් තැනීය සමචතුරස්රාකාර ගල් කුට්ටි බිමට ඇතිරූ අතර, ඕවලාකාර ගල් එකිනෙකට පුරුද්දා බැමි බැදීය.
පොලොන්නරු යුගයෙන් පසු මෙරට බිහිවූ අපූර්වතම ශෛලමය තටාකය ලෙසින් ඇතැම් විද්වතුත්හු දක්වති. අතීතයේ ඔරලෝසු තටාකය අවට පිඩලි අල්වා, මල් ගස් සිටවා ඉතා අලංකාර උද්යානයක් තනා පැවති බව රත්නපාල කන්කානම් මහතා දක්වයි.
වත්තේ මහත්තයා හෝ කිසියම් වැදගත් අයෙක් දිය නෑමට පැමිනෙන බව කන්කානමකට දැනුම් දුන් විට ගලා යන දිය පහර ලැලි යොදා ආවර්ණය කරයි. තටාකයේ වැඩි ජලය පිටවිය හැකි පරිදි මෙය සකසා ඇත. එවිට දිය පිරුණ පසු සිත්සේ ජල ක්රීඩා කරයි. මෙහි හොදින් දිය පිරුණු පසු පිහින පීනා ජල කෙළිය හැකි පරිදි ඔරලෝසුවේ මුහුණත කොටසේ ගැඹුර අඩි දෙකහාමාරකි.
බට්ටා කොටද වැඩිහිටියෙක්ට ගිලී නා ගත හැකි පරිදි අඩි පහක් පමණ ගැඹුරකින් යුක්තය. දිකෙළියෙක් ඉක්බිති වසා පැවති ලෑලි දොරවල් ඉවත්කර සාමාන්ය ආකාරයෙන් දොළට ගමන් කිරීමේ ඉඩ හසර ලබා දේ. මෙය දුර්ලබ අපූරු නිර්මාණයකි.
සොයිසා මුදලාලිගෙන් පසුව මෙම සොයිසා වත්ත තරමක් දුර්වල වූ අතර පසුව රජයට පවරා ගන්නා තුරුම පවත්වාගෙන ගියේය. පසුව දුර්වල කලමණාකාරීත්වය හා රඹර් වල මිල පහත යෑම නිසා වත්ත බිදවැටින. නිසි නඩත්තුවක් නොවීමෙන් වල් බිහිව වැල්ලෙන් හා පසින් යටව දසක තුනකටත් වැඩිකාලයක් පැවති ඔරලෝසු තටාකය.එකල බට්ටා කොටස පමණක් ගම් වැසියන් සිය දෛනික ජල අවශයතා සදහා යොදා ගත්තේය. අවිදිමත් ජානාවාස ඇති කිරීම හේතු කොට ජල මට්ටම අඩුවිය. පිළිසිදු බවද අඩු විය.
2015 වර්ෂයේදී මේ පිළිබඳව ගවේෂණය කල මා හට ඉංගිරිය වත්තේ කන්කානම් වරයෙකු ලෙස සේවය කල ඉසුරු පුර රත්නපාල මහතාව මට හමුවිය. එතුමා කග විස්තරය අනුව මෙහි වැදගත්ම තේරුම් ගත් මා මෙම උරුමය නැවත පාදා ගැනීමට තීරණය කලෙමි. නමුත් එය පහසු දෙයක් නොවීය ශතවර්ෂ බාගයක් පමන අතහැර දමා පැවති නිසා ඝන පස්තට්ටු හා ගස්වලින් වැසී තිබිණ.
කෙසේනමුත් අවසානයේ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය, ගම් වාසීන් සහ ප්රජා සේවය නියම වූවන් ගේ සහයද ඇතිව ශ්රමදාන දාමයක් මගින් අකුල් කපා වැසීගිය පස් ඉවත්කර ඔරලෝසු තටාකය මතු කර ගත් අතර පෙර පැවති අභිමානවත් තත්වය නොවූවත් යම් තරමක ලකයක් ලැබිණ. පසුව තවත් ශ්රමදාන කිහිපයක්ද විය.
කෙසේනමුත් වසර එකසිය හැත්තෑවක් පමණ පැරණි මෙම ඉංගිරිය ඔරලෝසු තටාකය තවමත් පුරා විද්යා අවධානයට ලක්ව පුරාවිද්යා ස්මාරකයක් බවට ගැසට් කිරිමට නියමිතව ඇත. මෙය අප රයිගම් කෝරළයේ අභිමාණවත් උරුමයකි. එය රැක ගෑනීම අප සතු යුතුකමකි.
සටහන- ජානක තරංග ආරියරත්න