25/10/2024
කාන්තාරයක් නිසා ආරක්ෂාවන මහා වනාන්තරය
= = = = = = = =
වනාන්තර විනාශ වුණාම කාන්තාර ඇතිවෙනවා කියන එක තමයි සාමාන්‍ය ඉගැන්වීම වෙන්නේ. ඒකට අපි කියන්නේ කාන්තාරකරණය කියලා.
නමුත් අතිවිශාල කාන්තාරයක් නිසා ඒ වගේම සුවිසල් වනාන්තරයක් නොනැසී පවතිනවා කිව්වොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වේවි.
මේ ඒ වගේ අරුම පුදුම කතාවක්.
2006 වර්ෂයේ දී නාසා ආයතනය “කැලිප්සෝ” කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කළා. මේ චන්ද්‍රිකාවේ සවිකරලා තියෙනවා Imaging Infrared Radiometer (IIR) පද්ධතිය Cloud-Aerosol Lidar with Orthogonal Polarization (CALIOP) නම් ලේසර් කිරණ පද්ධතියක් මගින් වළාකුල්වල ඇති විවිධ ස්ථර වෙන් වෙන් වශයෙන් හඳුනගෙන අධ්‍යයනය කරන්න පුළුවන් සුවිශේෂී කැමරා පද්ධතියක්.
එම කැමරා පද්ධතියට හැකියාව තිබෙනවා වායුගෝලයේ ඇති ජල අංශු, වායු අංශු, දූවිලි අංශ ඇතුළු විවිධ කොටස් වෙන්කර හඳුනාගැනීමට. ඒ සඳහා සංවේදී උපකරණවලින් මේ පද්ධතිය සන්නද්ධ කර තිබෙනවා.
ඒ නිසා පෘථිවි වායුගෝලයේ ඇති සුළං ප්‍රවාහවල තියෙන විවිධ අංශු වෙන්කරගෙන ඒවායේ ඇති රටාවන් හදුනාගෙන පරිගණකයෙන් ඡායාරූප ලෙස ලබාගැනීමේ හැකියාව මේ පද්ධතියට තිබෙනවා.
මේ දැක්වෙන ඡායාරූප ලබාගෙන තිබෙන්නේ “කැලිප්සෝ” චන්ද්‍රිකාවේ ඇති විශේෂිත කැමරා පද්ධතිය මගින්. එහි පෙන්වන්නේ දූවිලි වළාවක්.
විද්‍යාඥයන් මේ දූවිල රටාව අධ්‍යයනය කළා. ඔවුන් කියන්නේ අප්‍රිකාවේ ඇති සහරා කාන්තාරයේ සිට අත්ලාන්තික් සාගරය හරහා මේ දූවිලි වළාව වළාකුල් සහ සුළං ප්‍රවාහ සමඟ දකුණු ඇමෙරිකා මහද්වීපය දෙසට පාවෙලා යන බව. මේකට ඔවුන් නමක් දැම්මා. ඒ තමයි “සහරාන් ඩස්ට්” (Saharan Dust)
මේ සහරාන් ඩස්ට් කියන දූවිලි වළාව හඳුනාගත් අවස්ථාවේ සිට විද්‍යාඥයන් ඒ ගැන වසර කිහිපයක් ම අධ්‍යයනය කළා. ඔවුන් පවසන්නේ සහරා කාන්තාරයේ සිට දකුණු ඇමෙරිකා මහාද්වීපයට වසරකට දූවිලි ටොන් මිලියන 182ක් හෙවත් වැලි පැටවූ ලොරි ලක්ෂ 08කට සමාන ප්‍රමාණයක් පාවෙලා යන බව.
මේක අතිවිශාල දූවිලි ප්‍රමාණයක්. මේ දූවිලි ගමන් කරන දුරත් සුළුපටු නැහැ. එය අත්ලාන්තික සාගරයට ඉහළින් සුළඟේ සැතපුම් 1,600ක දුරක් ගමන් කරනවා.
මේ විදියට ගමන්කරන දූවිලි අංශු පතිත වෙන්නේ බ්‍රසීලය වගේ ලතින් ඇමෙරිකානු රටවල්වලට.
මේ දූවිලි පාවෙලා යන අතරතුර අහසේ ඇති වායු ප්‍රවාහවල රැඳිලා ඒ මේ අත ගමන් කරමින් තිබී වරින් වර ක්‍රම ක්‍රමයෙන් පොළොව මත පතිත වෙනවා. ටොන් 132ක් පමණ ලතින් ඇමෙරිකාවේ විවිධ කලාපවලට පතිත වන අතර ටොන් මිිලයන 43ක් කැරිබියන් කලාපයටත්, ටොන් මිලියන 27.7ක් බ්‍රසීලයේ ඇමසන් ද්‍රෝණියටත් පතිත වෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් වැටෙන්නේ දැවැන්ත ඇමසන් වනාන්තරයට.
ඇමසන් වනාන්තරයේ ශාඛවල පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය ඛනිජ සංඝටකයක් වන්නේ පොස්පරස්. මේ පොස්පරස් ශාක සෛලවල ශක්තිය තබා ගැනීමටත් ඩී.එන්.ඒ. ප්‍රකෘති තත්වයේ පවත්වාගන්න උපකාරී වෙනවා. ඇමසන් වනාන්තරයේ ශාඛ වලට අවශ්‍ය පොස්ෆරස් මේ වනාන්තරයේ ම තිබෙනවා. නමුත් නිරන්තර ඇතිවන අධික වැසි සහ ගංවතුර තත්වය නිසා මේ පසේ ඇති ඛනිජ නිතරම ගලාගෙන ගොස් මුහුදට එකතු වෙනවා. ඒ නිසා ශාකවලට අවශ්‍ය තරම් පොස්ෆරස් වනාන්තරයේ ඉතිරිවන්නේ නැහැ.
නමුත් සහරා වනාන්තරයේ සිට සුළඟ මගින් ඇමසන් වනාන්තරයට ගෙන එන දුහුවිලිවල පොස්ෆරස් 0.08% ප්‍රමාණයක් අඩංගු වෙනවා. එහෙම ගියාම ඇමසන් වනයේ පසේ පොස්ෆරස් ප්‍රමාණවත් නොවුණත් ඒ පොස්ෆරස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ සහරා කාන්තාරයේ සිට සැතපුම් 1,600ක් දුර ගෙවාගෙන ඇමසන් වෙත එන දූවිලි ප්‍රවාහය විසින්.
ඔබ දන්නවා ද විද්‍යාඥයන් මේ ගැන දිගින් දිගටම අධ්‍යයනය කළා. ඔවුන් පවසනවා ඇමසන් වනාන්තරයේ ඇති පොස්ෆරස් ජලයේ ගසාගෙන ගියාම එම වනාන්තරයට අහිමිවී යන අත්‍යාවශ්‍ය පොස්ෆරස් ප්‍රමාණයට සමාන පොස්ෆරස් ප්‍රමාණයක් සහරා කාන්තාරයෙන් සුළං ප්‍රවාහය ඔස්සේ ලබා දෙන බව.
මෙය ඉතාමත් පුදුම සහගත දෙයක්. නමුත් ඇත්තටම සිදුවන්නේ එයයි. ස්වභාව ධර්මයා විසින් පරිසරයේ තුල්‍යතාව ඇතිකරන්න මේ අපූරු සිදුවීම නිර්මාණය කරලා. මහා වනාන්තරයක් ආරක්ෂා කරන්න දැවැන්ත කාන්තාරයකින් අවශ්‍ය පොස්ෆරස් ප්‍රමාණය අහසින් ගෙනැල්ලා අවශ්‍ය තැනටම පතිත කරනවා.
විශ්වාස කරන්න බෑ නේද ?
ඇමසන් වනාන්තරයේ පැවැත්මට වර්ෂයකට පොස්ෆරස් ටොන් 22,000ක් අවශ්‍යයි. සහරා කාන්තාරයෙන් පරිත්‍යාග කරන පොස්ෆරස් ප්‍රමාණයත් වසරකට හරියටම ටොන් 22,000යි.
මේ සංසිද්ධිය ඇති වුණේ අදින් වසර කෝටි 17-18කට පමණ පෙර සිට කියලා තමයි විද්‍යාඥයන්ගේ මත වී තිබෙන්නේ. ඒ කාලේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව ඇතුළු මහද්වීප රැසක් එකම ගෙඩබිමක් ලෙස තමයි තිබුණේ. පස්සේ ඇති වූ භූමිකම්පා, සුනාමි, විවිධ පැළුම් නිසා අප්‍රිකාවත් දකුණු ඇමෙරිකාවත් ක්‍රම ක්‍රමයෙන් එකිනෙක ඈත්ව ගියා. නමුත් තනි ගොඩබිමක් හැටියට තියෙද්දී පෘථිවි චුම්භක ක්‍රියාකාරීත්වය නිසා ඇති වූ සුළං ප්‍රවාහ මගින් එම ගොඩබිම් දෙක අතර සිදු වූ අන්තර් ක්‍රියාකාරීත්වයන් අදටත් වැඩි වෙනසක් නැතිව පවතින බව තමයි විද්‍යාඥයන් පවසන්නේ.
වනාන්තර විනාශයෙන් කාන්තාර ඇතිවෙනවා කියලා වර්තමානයේ කිව්වත් කාන්තාර නිසාම ඇමසන් වැනි සුවිසල් වනාන්තර ආරක්ෂා වී තිබීම ගැනත් අපි කතා කළ යුතුයි.
මේවා සොබා දහමේ අපූරු සහ සම්බන්ධයන්
(මෙවැනි විද්‍යාත්මක තොාරතුරු දැන ගැනීමට අපේ "විද්යා පිටුව Science Page" Like කර Follow කරන්න. )