19/02/2024
🇱🇰 🚩 ☭▸ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය. Lanka Piriven Teachers Service Union. (LPTSU)
දිනය:- 2024.02.19
අමාත්‍යතුමනි,
2024 පිරිවෙන් වාර දින දර්ශනය සම්බන්ධව...
පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයද දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් වන එම්. එන්. රණසිංහ මහතා විසින් 2024 වර්ෂයේ පාසල් හා පිරිවෙන් දින දර්ශනය 2023.02.29 දිනැතිව නිකුත් කර ඇත. එය මෙම වර්ෂය තුළ පවතින රජයේ විභාග, ආගමික හා වෙනත් උත්සව දින සම්බන්ධයෙන් සලකා පිරිවෙන් හා පාසල් පැවැත්වීමට හැකි උපරිම දින ගණන ඇතුළත් කොට සකසා ඇති බව පෙනේ. විශේෂම කරුණක් හැර වෙන කිසිම දෙයකට එය වෙනස් නොකළ යුතු බවද ඔහු විසින් සඳහන් කොට ඇත. මෙම චක්‍ර ලේඛනය පාසල්, පිරිවෙන් පමණක් නොව රජයේ අනුමත පෞද්ගලික පාසල් වෙතද යොමුකර ඇත. එසේ කල්හි මෙම චක්‍ර ලේඛනය අයත් නොවන අධ්‍යාපන ආතනයක් නොමැති තරම්ය.
ඉහත කරුණ එසේ වුවත් පිරිවෙන් Whatsapp සමූහ හරහා පිරිවෙන් වල ක්‍රියාත්මක කිරීමට යැයි නියමකොට වෙනම වාර දින දර්ශනයක් ඉන් පසුව නිකුත් කොට තිබේ. එහි වාර අවසාන කිරීම්වල හා නිවාඩු දිනවල බරපතළ වෙනස්කම් කර ඇත. ඒ අනුව ඇතැම් පාසල් නිවාඩු දින පිරිවෙන් පවත්වන දින ලෙසත් පාසල් පවත්වන ඇතැම් දින පිරිවෙන් නිවාඩු දින ලෙසත් වෙනස් කර ඇත. එම චක්‍රලේඛය පිරිවෙන් ශාඛාව මගින් නිකුත් කර ඇතැයි සිතේ. එනමුත් එහි එය නිකුත් කළ අයෙකුගේ නමක්, තනතුරක්, හෝ අස්සනක් සඳහන් නොවේ. මෙසේ එකම කරුණකට බරපතල වෙනස්කම් සහිත චක්‍රලේඛ දෙකක් එකම ආයතනයකට නිකුත් කිරීම නිසා පිරිවෙන් සිසු, ගුරු, පරිපාලන සියලූම දෙනා දැඩි අපහසුවට පත්වේ. මෙම චක්‍රලේඛ දෙකෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කුමන එකද යන්න මූලිකම ගැටලූවයි.
පිරිවෙන් සඳහා යැයි නිකුත්කොට ඇති චක‍්‍රලේඛය ක්‍රියාත්මක කරන්නේ නම් ගැටලූ ගණනාවකට මුහුණ දීමට සිදුවේ.
ඒවා නම්
1. අ.පො.ස (උ. පෙ.) විභාගයට සූදානම් වෙන පිරිවෙන් සිසුන්ට විභාගය ආසන්නයේ දිගු නිවාඩුවක් නියම කර ඇත. එය ඒ සිසුනට දැඩි තරගකාරී එම විභාගයට මුහුණ දීම සඳහා බාධාවක් වනු ඇත. එනම් 2024.10.17 සිට 11.17 දක්වා නිවාඩුවයි. මෙම දිනවල පිරිවෙන් වලට නිවාඩු ලබාදීමට විශේෂ හේතුවක් ද නැත,
2. පිරිවෙන් හා පාසල් සිසුන් මුහුණ දෙන රජයේ විභාග දිනවලද පිරිවෙන පැවැත්වීමට සිදුවේ. එයින් විභාග රාජකාරී සඳහා පිරිවෙන් ගුරුවරුනට ඉදිරිපත්වීමට නොහැකි වේ. උදාහරණ ලෙස නොවැම්බර් දෙසැම්බර් මාස වල අ.පො.ස. (උ.පෙ.) සමය දැක්විය හැක,
3. වෙසක් හා පොසොන් සතිවල නිවාඩු නියම කර ඇති බැවින් චිරාත් කාලයක් පිරිවෙන්වල පවත්වාගෙන ආ වෙසක් සතිය හා පොසොන් සතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ,
4. පිරිවෙන් ආරම්භ කිරීම් නිවාඩු දීම් එක ළඟ ළඟ සිදුවීම නිසා අධ්‍යාපන කටයුතුවල අඛණ්ඩතාවය පවත්වා ගැනීමට නොහැකිව ව්‍යාකූලත්වයක් ඇති වනු ඇත,
5. ඇතැම් පිරිවෙන් සිසුන් පිරිවෙන් වලට පැමිණීම සඳහා පාසල් සේවයේ ප්‍රවාහන පහසුකම් සලසා ගනු ලැබේ. පාසල් නිවාඩු දින වලට ඒවා ක්‍රියාත්මක නොවන නිසා එම පිරිවෙන් සිසුන්ට පිරිවෙන් වලට පැමිණීමේ අපහසුකම් පැන නගිනු ලැබේ,
6. පිරිවෙන්වල වැඩි පිරිසක් සේවය කරන්නේ ගිහි ගුරුවරුය. ඔවුනගේ දරුවන්ට බිරිඳට හා තමන්ට වෙන වෙනම නිවාඩු ලැබීම හේතුවෙන් පුද්ගලික කටයුතු සිදුකර ගැනීමටද බාධා පැමිණෙනු ලැබේ,
7. සෑම නිවාඩු කාලයක් අවසානයේම පිරිවෙන්වල සිසුන්ගේ අඩුවීමක් සිදුවීම ප්‍රායෝගික අත්දැකීමයි. එයට හේතුව නිවාඩුවට නිවෙස් හා පන්සල් බලා යන සිසුන්ගේ යම් පිරිසක් නැවත නොපැමිණීමයි. මෙලෙස වසරකට අවස්ථා ගණනාවක් නිවාඩු දීම තුළින් එය තවත් වර්ධනය වනු ඇත.
ගරු ඇමතිතුමනි,
මේ වන වනවිටත් විසඳා ගත නොහැකි ගැටලූ ගණනාවකට මුහුණ දී ඇති පිරිවෙන් ක්ෂේත්‍රය මෙම වාර දින දර්ශන අවුල නිසා තවදුරටත් අර්බුදයට යාම වළක්වා ගත නොහැකි බව නො අනුමානයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කොට පිරිවෙන් හා පාසල් යන ආයතන දෙවර්ගයටම එකම වාර දින දර්ශනයක් අනුමත කරන ලෙස දන්වා සිටිමු. එසේ නොවුණහොත් ඉහත ගැටලූ වළක්වාගෙන පිරිවෙන් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා අපහට වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළැඹීමට සිදුවනු ඇත.
ස්තූතියි.
මෙයට,
මීගහජඳුරේ සීලානන්ද හිමි
ප්‍රධාන ලේකම්
ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය.
පිටපත් :-
01.අධ්‍යාපන ලේකම්තුමා - ඉක්මන් අවධානයට
02. අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් - එම -
03. සියලූ ජනමාධ්‍ය
#විසදුම #මාලිමාව #භික්ෂු #ராஜா_டயஸ் #රාජා_ඩයස්