23/05/2026
මුල්ලිවෛක්කාල් මතකයෙන් ඔබ්බට...
Beyond Mullivaikkaal Memories ...
අද හවස කොටුවෙ ගුරුමැදුරේදී වැදගත් සාකච්ඡාවක් පැවැත්වුනා. 2009 මැයි 18දා උතුරේ මුල්ලිවෛක්කාල් හිදී ltte සංවිධානය පරාජය කොට ශ්‍රී ලංකා ආණ්ඩුවෙ හමුදා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාට මේ දිනය මහා ජන සංහාරයක් පිළිබඳ මතකය සිහියට නංවනවා. මැයි 16, 17, 18 දිනවල සිදුවූ ඒ මහා ජන සංහාරයේදී දෙමළ ජනයා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරාදැමුනු බව අපට අමතක කරන්න බැරි මතකයක්.
ඒත් අපි හැමදාමත් ඒ මතකය ස්මරණය කරමින් ඉන්නවද එහෙම නැත්නම් මුල්ලිවෛක්කාල් ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධයේ ගොදුරු බවට පත්වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරනවාද කියන ප්‍රශ්නය දැන් අප හමුවේ තියෙනවා. ඒ සාධාරණය ඉටු කරන්න පුලුවන් වෙන්නෙ දිවිපිදූ සියලු දෙනා බලාපොරොත්තු වූ සාධාරණ සහ සත්‍ය සාමයක් උදාකර ගැනීමෙන් පමණයි.
එවන් සාමයක් උදාකර ගත හැක්කේ දෙමළ ජනයාගේ යටපත් කළ නොහැකි ජාතික අයිතිය පිලිගැනීමෙන් පමණක් බව අද සාකච්ඡාවෙදි අවධාරණය කෙරුනා. මෙහිදී අදහස් දැක්වූ සිංහල දෙමළ සියලු දෙනා පෙන්වා දුන්නෙ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් යටපත් කර සාමයක් උදාකර ගත නොහැකි බව මෙන්ම මොනතරම් බාධක ආවත් දෙමළ ජනයා එවන් සාමයක් භාර නොගන්නා බවයි.
අනෙක් අතට සිංහල පාලක පන්තිය බලය දරන ආණ්ඩු යටතේ උතුරු නැගෙනහිර සිදුවන බලහත්කාර සිංහල බෞද්ධකරණය, බෞද්ධයන් කිසිවකු නොමැති තැන්වල පුරාවිද්‍යවේ නාමයෙන් දෙමළ ජනයා පදිංචි ඉඩම් අත්පත් කරගැනීම, යුද සමයේ බලහත්කාරයෙන් හමුදාවට අල්ලා ගත් ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් නොකිරීම සහ අලුතින් ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ කිරීම ආදී පොදු ජනතාවට දැනෙන ප්‍රශ්න ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වුනා.
මේ සාකච්ඡාවට පැමිණ සිටි උතුරේ ප්‍රකට ලේඛක දීපචෙල්වන් පිරදීපන් සහ නීති ශිෂ්‍ය ඉන්දුජන් යන සහෝදරවරු උතුරේ ජනයාගේ සිත්සතන්වල දැවෙන ප්‍රශ්න ඉස්මතු කොට පෙන්වාදුන්නා.
සාකච්ඡාවට මැදිහත් වූ දකුණේ සහෝදරවරු කීපදෙනෙක් දකුණේ සිංහල වර්ගවාදයේ නැගීම ගැන කරුණු කිව්වා. විශේෂයෙන් පසුගිය මුල්ලිවෛක්කාල් සමරුවෙන් පසු ඒ පිළිබඳ මුහුණු පොතේ තිබූ බොහෝ සටහන්වල තිබූ අතිශය ග්‍රාම්‍ය අසභ්‍ය කමෙන්ට් තුළින් භයානක වර්ගවාදී ප්‍රවනතාවක් දකුණේ උද්ගත වෙමින් පවතින බවට අදහස් පළකෙරුනා.
මේ තත්වය වෙනස් කොට දකුණේ ජනයා විශේෂයෙන් තරුණයන් තුළ වර්ගවාදී ජාතිවාදී විසබීජ වර්ධනය වීම වැළැක්වීමටත් උතුරේ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැනත් අදහස් පළකෙරුනා. මා නම් පෙන්වා දුන්නේ පසුගිය කාලය තුල දකුණේ සිංහල ජාතිවාදී අදහස් යම් පමණකට හෝ මැඩපවත්වා ගැනීමට හැකිවූයේ වාමාංශික ව්‍යාපාරයේ සහ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ශක්තිය සහ බලපෑම මත බවයි. මේ වනවිට මේ දෙඅංශයේම ක්‍රියාකාරිත්වය යම් පසුබෑමකට ලක්වී ඇති බැවින් සිංහල ජාතිවාදී කොටස්වලට ඉදිරියට පැමිණීමටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අවධානය දිනාගෙන යම් සමාජ පදනමක් දමාගැනීමට මගක් විවර වී ඇති බවත් මා මෙහිදී පෙන්වා දුන්නා.
------ Srinath Perera 23/2/2026.