පරපුරක බලය - Parapuraka Balaya

පරපුරක බලය - Parapuraka Balaya හෙටක් ඇති රටක් වෙනුවෙන් සටන් කරන පරපුරක්. http://parapurakabalaya.lk/

# 2015 නොවැම්බර් 01 වන දින අප නිල වශයෙන් ආරම්භ කළෙමු.

# න්‍යායාත්මකව අදහස් සහ මත ඉදිරිපත් කරමින්ද.

# ජනතා අයිතිය උදෙසා මැදිහත් වෙමින් සහ මැතිවරණ සඳහා දායක වෙමින්ද.

# පුරවැසියන් දැනුවත් කරමින් සහ ඒකරාශී කරමින්ද අප ගමන් කළෙමු.

#පරපුරක බලය මේ ගත කරනේ අපගේ සැළසුමේ හතරවන අවධියයි. ආණ්ඩු බලය අත්පත් කර ගැනීම උදෙසා ඍජු ලෙස පිවිසීමයි.

# අප ගැන විස්තර ඔක්කොම දැනගන්න මෙතනින් එන්න.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය පමණක් නොවේ, එය ජනතා හඬට ඇති අයිතියයි. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය – සැප්තැම්බර් 15සෑම ...
15/09/2026

ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය පමණක් නොවේ, එය ජනතා හඬට ඇති අයිතියයි.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය – සැප්තැම්බර් 15

සෑම වසරකම සැප්තැම්බර් 15 වන දින ලෝකය පුරා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරනු ලබයි. ජනතාවගේ සහභාගීත්වය, නිදහස, සමානාත්මතාව, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ වගවීම මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වටිනාකම නැවත සිහිපත් කිරීම මෙම දිනයේ මූලික අරමුණයි.
නිල පදනම

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට නිල පදනම ලැබුණේ 2007 නොවැම්බර් 8 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් A/RES/62/7 යෝජනාව සම්මත කිරීමත් සමඟය. එම යෝජනාව මගින් සෑම වසරකම සැප්තැම්බර් 15 වන දින ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෙස සැමරීමට තීරණය කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම හා තහවුරු කිරීම පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම තීරණයේ මූලික අරමුණක් විය. ඒ අනුව පළමු ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය 2008 සැප්තැම්බර් 15 දින ලෝකය පුරා සමරනු ලැබීය.

මෙම දිනය හුදෙක් උත්සවයක් හෝ දින දර්ශනයක සටහනක් නොවේ. එය ලෝකයේ සෑම රටකටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තමන්ගේම ක්‍රියාකාරිත්වය නැවත විමසා බැලීමට ලැබෙන අවස්ථාවකි. ජනතාවගේ කැමැත්ත රාජ්‍ය පාලනයේ පදනම බව පිළිගන්නේද? පුරවැසියන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකිද? විවිධ දේශපාලන අදහස්වලට සමාන අවකාශයක් තිබේද? රාජ්‍ය ආයතන නීතියට සහ වගවීමට යටත්ව ක්‍රියා කරන්නේද? යන ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැබෑ මිනුම් දණ්ඩ බවට පත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ හරය

ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයයි. ආණ්ඩුවක බලය ජනතාවගෙන් උත්පාදනය වන අතර, එම බලය ජනතාව වෙනුවෙන් සහ ජනතාවට වගකියමින් භාවිත කළ යුතුය. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වුවද, ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණයකින් ආරම්භ වී මැතිවරණයකින් අවසන් වන ක්‍රමයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ දේශපාලන කැමැත්තට සංවිධානය වීමට, පක්ෂයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට, මැතිවරණවලට තරග කිරීමට, තම අදහස් ප්‍රකාශ කිරීමට, රාජ්‍ය පාලනය විවේචනය කිරීමට සහ රාජ්‍ය ආයතන ඉදිරියේ සමාන ලෙස සැලකීමට ඇති අයිතියද ආරක්ෂා කිරීමයි. එම අයිතිවාසිකම් සීමා වන තැනක, මැතිවරණ පැවැත්වුණද ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය දුර්වල වීමට පටන් ගනී.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බහුත්වවාදය අත්‍යවශ්‍යය. එකම අදහසක්, එකම පක්ෂයක් හෝ එකම දේශපාලන කණ්ඩායමක් පමණක් පවතින සමාජයක සැබෑ දේශපාලන තේරීමක් ඇති නොවේ. නව අදහස්, නව දේශපාලන කණ්ඩායම් සහ නව නායකත්වයන්ට දේශපාලන අවකාශය විවෘතව තැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තියකි. ජනතාවට පවතින දේශපාලන විකල්ප අතරින් තෝරා ගැනීමට මෙන්ම, නව විකල්පයක් ගොඩනැගීමටද අයිතිය තිබිය යුතුය.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් එකිනෙකින් වෙන් කළ නොහැක. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ හා සංවිධානය වීමේ නිදහස, සමාන ලෙස සැලකීමේ අයිතිය සහ දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම් වේ. එක්සත් ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ රාමුවද ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ මූලික නිදහස් සමඟ සම්බන්ධ කරයි.

නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන රාජ්‍ය ආයතන.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තවත් අත්‍යවශ්‍ය පදනමක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන රාජ්‍ය ආයතන ය. මැතිවරණ පවත්වන ආයතන, අධිකරණය, රාජ්‍ය පරිපාලනය සහ අනෙකුත් මහජන ආයතන දේශපාලන බලයෙන් ස්වාධීනව, සාධාරණව, විනිවිදභාවයෙන් සහ සමාන නිර්ණායක යටතේ ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසය ආරක්ෂා කරයි. රාජ්‍ය ආයතන පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන විට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සමස්ත විශ්වාසනීයත්වයද දුර්වල වේ.

බහුතරය පමණක් නොවේ

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ පාලනය පමණක් නොව, සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමද වේ. බහුතරයකගේ කැමැත්තට ගරු කරන අතරම, වෙනස් අදහස් දරන පුද්ගලයන්ට, කණ්ඩායම්වලට සහ දේශපාලන සංවිධානවලටද තම අදහස් ඉදිරිපත් කිරීමට හා දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමට අවකාශ තිබිය යුතුය. එසේ නොමැති විට බහුතරවාදය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආධිපත්‍යයක් බවට පත්විය හැකිය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රාජ්‍ය බලය විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාවක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරයකි. ආණ්ඩුවකට විරුද්ධ මතයක් දැරීම, නව දේශපාලන අදහසක් ඉදිරිපත් කිරීම, පවතින ක්‍රමය ප්‍රශ්න කිරීම සහ වෙනස් දේශපාලන විකල්පයක් ජනතාව ඉදිරියට ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ස්වභාවික කොටස් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන අභියෝග.

අද ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන අභියෝගද විශාලය. වැරදි තොරතුරු හා ව්‍යාජ තොරතුරු, දේශපාලන ධ්‍රැවීකරණය, වෛරී කථනය, පුරවැසි අවකාශය සීමා වීම, මාධ්‍ය නිදහසට ඇති බලපෑම් සහ රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය පහළ යාම ඒ අතර ප්‍රධාන වේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද ප්‍රජාතන්ත්‍රවාදය “මැතිවරණවලට වඩා වැඩි දෙයක්” බවත්, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ අර්ථවත් සහභාගීත්වය එහි දෛනික භාවිතයේ කොටස් බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව වැනි දිගු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සහිත රටකට මෙම පණිවිඩය විශේෂ වැදගත්කමක් දරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යනු ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පමණක් ආරක්ෂා කිරීම නොවේ. ඡන්දයට පෙර ඇති දේශපාලන ක්‍රියාවලිය, ජනතාවට තම දේශපාලන කැමැත්ත සංවිධානය කරගැනීමට ඇති අවකාශය, විවිධ දේශපාලන බලවේගවලට සමාන අවස්ථා ලබාදීම, තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රාජ්‍ය ආයතනවල වගවීමද ඒ හා සමානව වැදගත්ය. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයන් ද ශක්තිමත් ආයතන, වගකීම් සහිත පාලනය, නීතියේ ආධිපත්‍යය, නිදහස් මාධ්‍ය සහ සමාන අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් ලෙස අවධාරණය කරයි.

ප්‍රජාත්‍රන්ත්‍රවාදි ප්‍රවෙශයක් අහිමි උන අප

මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවල ආලෝකයෙන්, පරපුරක බලය දේශපාලන පක්ෂයක් ලෙස තම අත්දැකීමද ජනතාව ඉදිරියේ සිහිපත් කරයි. දේශපාලන පක්ෂයක් ලෙස නිල පිළිගැනීම ලබා ගැනීම සඳහා පරපුරක බලය අවස්ථා කිහිපයකදී ඉදිරිපත් වූ අතර, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂය විසින් මැතිවරණ කොමිසමේ සාධාරණත්වය, සමානත්වය සහ විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කර ඇත.

පක්ෂයේ නිල ලියාපදිංචි තත්ත්වය හේතුවෙන් 2024 මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කිරීමට සිදුවූයේද එම දේශපාලන ගමනේම කොටසක් ලෙසය.

මේ සම්බන්ධයෙන් පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගවලටද යොමු වී ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මේ වන විට විභාග වෙමින් පවතී.

අපගේ විශ්වාසය වන්නේ නව දේශපාලන කණ්ඩායම් බිහිවීම සහ ජනතාවට නව දේශපාලන විකල්ප ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන දෙයක් නොව, එය ශක්තිමත් කරන අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එවැනි නව දේශපාලන බලවේගයක් නීත්‍යානුකූල හා සාධාරණ දේශපාලන තරගයෙන් බැහැර කිරීමට හෝ උපක්‍රමශීලීව අඩපණ කිරීමට සිදුවන තත්ත්වයක් ඇතිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ආත්මයට කිසිසේත්ම ගැළපෙන්නේ නැත. පරපුරක බලය මෙම කරුණ ඉදිරිපත් කරන්නේ එක් පක්ෂයක වරප්‍රසාදයක් වෙනුවෙන් නොව, සෑම දේශපාලන කණ්ඩායමකටම සහ සෑම පුරවැසියෙකුටම සමාන දේශපාලන අවස්ථාවක් හිමිවිය යුතුය යන මූලධර්මය වෙනුවෙනි.

සමාන අවකාශයක් වෙනුවෙන් හඬ නගමු!

"ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ ඡන්දයෙන් ආරම්භ වී බලය හිමි පිරිසක අභිමතයෙන් අවසන් වන ක්‍රමයක් නොවේ. එය ජනතාවගේ හඬට සවන් දීම, වෙනස් අදහස්වලට ඉඩ දීම, සමාන අවස්ථා තහවුරු කිරීම, නීතියට ඉහළින් කිසිවෙකු නොතැබීම සහ සෑම පුරවැසියෙකුටම තම දේශපාලන අනාගතය ගොඩනැගීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමයි. සැප්තැම්බර් 15 වන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදී පරපුරක බලය අවධාරණය කරන්නේ එකම සරල සත්‍යයකි."

ජනතාවගේ හඬට සීමා පනවන තැන ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වේ; සෑම හඬකටම සමාන අවකාශයක් ලැබෙන තැන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේ.

පරපුරක බලය

හොරුත් එක්ක ඩීල් නැති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන්....
25/01/2026

හොරුත් එක්ක ඩීල් නැති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන්....

2025 මහ සභා රැස්වීම - 2026 ජනවාරි 31, පෙරවරු 10.00 ට, පිළියන්දල ප්‍රධාන කාර්යාලයේදීවිධායක සාමාජිකන් සහාභාගී වන්න. ඉල්ලුම...
25/01/2026

2025 මහ සභා රැස්වීම - 2026 ජනවාරි 31, පෙරවරු 10.00 ට, පිළියන්දල ප්‍රධාන කාර්යාලයේදී

විධායක සාමාජිකන් සහාභාගී වන්න. ඉල්ලුම් කරන ක්‍රියාකාරි සාමාජිකන්ට සහභාගී වීමට අවස්ථාව සැලසේ.

මහ ලේකම් හෝ ජාතික සංවිධායක සම්බන්ධීකරණය කරන්න.

අප කතා කරන මාතෘකාවට පදනම වන්නේ 6 වසරේ දරුවන්ගේ අධ්‍යාපන මොඩියුලයට වැඩිහිටි සමලිංගික සවැදියක් ඇතුළත් විමත්, සිවිල් සමාජයෙ...
01/01/2026

අප කතා කරන මාතෘකාවට පදනම වන්නේ 6 වසරේ දරුවන්ගේ අධ්‍යාපන මොඩියුලයට වැඩිහිටි සමලිංගික සවැදියක් ඇතුළත් විමත්, සිවිල් සමාජයෙන් එය පෙන්වා දෙන තුරු ජනාධිපති, අගමැති (අධ්‍යාපන ඇමති ) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථීර ලේකම් එය නොදැන සිටීමත්ය.

වගකිව යුතු සියල්ලන්ට මඟ හැරුන විනාශය.

වගකීම් විරහිත ජනාධිපති සහ අගමැතිත්, අධ්‍යාපන ලේකම් සහ අනෙකුත් නිලධාරීනුත් සමාජයෙන් පෙන්වා දෙන තුරු කිසිවක් දැන නොසිටි බව පෙන්වන්නට උත්සහ කරයි. ඔවුන්ගේ එම පෙන්වාදීම සත්‍ය යැයි උපකල්පනය කළහොත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාවලිය අතිශයෙන්ම අනාරක්ෂිත වගකීම් විරහිත ක්‍රියාවලියකි. දේශපාලන අධිකාරියත්, නිලධාරීනුත් තොත්ත බබාලා වන්නට වූ විට දැයේ දරුවන්ට දෙවියන්ගේම පිහිටය.

ලිංගික අයිතිය සහ ලිංගික අධ්‍යාපනය

අප මිනිස් ප්‍රජාවගේ ලිංගික විවිධත්වය මත වූ ලිංගික අයිතියට ගරු කරන්නෙමු. නූතන ලිංගික කැමැත්තේ ප්‍රවනතා පිළිබඳව ගෝලීය සංවාදයක් තිබේ. එය සමාජ විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව සහ වෛද්‍ය විධ්‍යාත්මකව ප්‍රවේසමෙන් සලකා බැලිය යුතුය. මානව වර්ගයාගේ අතිශය සංවේදී කලාපයක් සහ සංස්කෘතික සහ සදාචාරාත්මක සීමා පිළිබඳව බහුතර සමාජයේ ගැටීම විවාදාත්මක තලයකට වඩා මානුෂීය සංවාදාත්මක ප්‍රවේශකින් විසදාගත යුතුය.

ලිංගික අධ්‍යාපනය වෙනුවෙන්ද අප පෙනී සිටින්නෙමු. ලිංගිකත්වය යනු සමාජයේ පැවැත්මයි. ලිංගිකත්වය විද්‍යාවක් සහ කලාවක් ලෙසද ලෝකයේ වසර දහස ගණනකට සිට පැවත ආ බවද අප මතක් කර ගත යුතුය. ලිංගික අධ්‍යාපනය යනු කෙසේ ලිංගිකව හැසිරෙන්නේද යන්නට ලගු නොවේ. ආරක්ෂාව සෞඛ්‍ය (ශාරීරික සහ මානසික ) ඇතුලු තවත් බොහෝ කරුණු ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වේ. ගැටලුව ලිංගික අධ්‍යාපනය නොවේ.

හරිනිගේ ප්‍රවේශය සහ චෝදනාවේ දිසානතිය.

අප කෙනෙකුගේ පුද්ගලික ලිංගික චර්යා අනෙක් කිසිවෙකුට හානියක් නොවන සහ නීතිමය සීමා තුළ කඩ වී නැත්නම් සාකච්ඡා නොකරන්නෙමු. නමුත් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් කීප දෙනෙක්ගේ සමරිසි කැමැත්ත සහ ඔවුන් ඒ සම්බන්ධ බාධා ඉවත් කර ගැනීමේ ප්‍රවේශයේ ස්භාවය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් තිබේ. එවැනි පසුබිමක මෙවැනි සිද්ධියක් ඉතා සරළව අගමැති හරිනිව ඉල්ලක්ක වීම ස්භාවික සමාජ ස්භාවයකි.

නීතිය සහ සදාචාරය.

අවුරුදු 10, 12 දරුවන්ට සමරිසි ලිංගික සහකරුවන් සොයා ගැනීමට දැනුම ලබා දීම ලංකාවේ නීතිය අනුව අපරාධයකි. සදාචාරාත්මක සීමාවේ ශිෂ්ඨ සම්පන්න සමාජය කම්පනයට ලක් කරයි. ආණ්ඩුවට හිතකාමින් කුමන සාධාරණය කිරීම් කළද ඔවුන් පවා මෙම පදනම විවාද නොකරයි. නැතහොත් මෙම කලාපයේදි නිහඬ වෙයි. මෙම වැරැද්ද සිදුකෙරුණ පුද්ගලයන් සොයා බලා දරුවන් අපචාරයට තැත් කිරීමට උත්සහ කිරීම පිලිබඳව දඩුවම් කළ යුතුය.

ජනාධිපතිගේ, අගමැතිගේ සහ අධ්‍යාපන ලේකම්ගේ මැදිහත් වීම.

ජනාධිපති - මේ බරපතල තත්වය තුළ ජනාධිපති අනුර තවමත් නිහඩ වී ඇති අතර 2/3 ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති බලතල භාවිතා කරමින් වේගවත් සහ අවංක මැදිහත් වීමක් නොපෙන්වයි. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු පිරිස් පැය කීපයක් තුළ ගෙන්වා විමසීමක් කරන්නට තරම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සංවේදී හෝ වග වන බවත් දක්නට නැත.

අගමැති - අගමැති හරිනි මෙය දැනගන්නේ සිවිල් සමාජය පෙන්වා දුන් පසුවය. ඇය ඒ මොහොතේ තම අධ්‍යාපන ඇමතිකමෙන් සහ අගමැතිකමෙන් ඉල්ලා අස් වී පරීක්ෂණ පවත්වාගෙන යාමට සහය දැක්විය යුතු නමුදු එවැනි සදාචාරයකට ලං වීමටවත් ඇයට නොහැකි වී ඇත.

අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන ලේකම් සී.අයි.ඩී. යට ගොස් පැමිණිල්ලක් දමා තිබේ. ඔහු පවසන්නේ කුමන්ත්‍රණයක් විය හැකි බවය. ඔව්... එසේද විය හැක. කුමන්ත්‍රණ සිදු වී සියල්ල අවුල් සහගත වන තුරු ඔහුට එය සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔහුගේ කතාවෙන් ගම්‍ය වෙයි. එපමණක් නොව අදාල ක්‍රියාවලියට සම්බන්ධ සියලු පිරිස් කැඳවා පරික්ෂණයක් කිරීමටද ඔහුට අමතකව ඇත.

අවසාන සටහන

දේශපාලන අධිකාරිය ඇතුලු කිසිඳු බලධාරියෙකුට මෙම ගැටළුව සිවිල් සමාජය පෙන්වා දෙන තුරු සොයා ගැනීමට නොහැකි තරම් ක්‍රියාවලිය අවුල් සගහත වන අතර අනුර, හරිනි සහ අධ්‍යාපන ලේකම් සම්පූර්ණයෙන් අසමත්ය.

ජනාධිපති වේගයෙන් මෙම අර්බුදයට මැදිහත් නොවීමෙන් මෙහි බර ඔහුට නොතේරුන හෝ එවැනි මැදිහත් වීමකට ඔහුගේ හැකියාව නැති බව නිරීක්ෂණය වෙයි.

අධ්‍යාපන ලේකම් අභ්‍යන්තර කඩිනම් පරික්ෂණයක් නොකර සී.අයි,ඩී. යට භාරදී කුමන්ත්‍රණ කතාවක එල්ලී සිටීමෙන් වගකීමෙන් බැහැර වී ඇත.

අප මේ පේන අහන්නේ හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම දැයි සමස්ථ ක්‍රියවලිය දෙස බැලු කල අපට සැකයක් ගොඩ නැගේ.

දරුවන් අනාරක්ෂිතය. සමාජය කම්පනය විය යුතු මොහොතක හිරි වැටී ඇති බව පෙනෙයි. ප්‍රගතිශීලි විපක්ෂයක් නැත. ජනතාව සටන අතට ගත යුතුය.

පරපුරක බලය

ජයග්‍රහණයේ අවුරුද්දක් වේවා !ලැබුවා වූ 2026 නව වසර ඔබේ අභියෝග ජය ගත හැකි ජයග්‍රහණයේ වසරක් බවට පත් වේවා යැයි පරපුරක බලයේ අ...
01/01/2026

ජයග්‍රහණයේ අවුරුද්දක් වේවා !

ලැබුවා වූ 2026 නව වසර ඔබේ අභියෝග ජය ගත හැකි ජයග්‍රහණයේ වසරක් බවට පත් වේවා යැයි පරපුරක බලයේ අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ශ්‍රී ලංකාවාසී ඔබ අප සැම මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා අප ඔබ සමඟ සිටින්නෙමු. සැම ජයග්‍රහණයක් පිටිපසම මනා සැලසුමක්, කැපකිරීමක් ඇති බවත් පසු නොබස්නා චිත්ත ධෛර්ය සමඟ සම්බන්ධයක් ඇති බවත් අප ඔබට මතක කරන්නෙමු. ඒ නිසා අභියෝග ජය ගැනීම සඳහා ඔබේ ධෛර්ය සමඟ අප නිරන්තරයෙන් සිටින්නෙමු. අපි කැපවෙන්නෙමු.

2026 අප නිමා කළ යුත්තේ ජයග්‍රහණයේ වසරක් ලෙසය. ඉතින්.... අප.... ඉදිරියට යමු !

පරපුරක බලය

Address

114, Silarathana Mawatha, Piliyandala
Colombo

Alerts

Be the first to know and let us send you an email when පරපුරක බලය - Parapuraka Balaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පරපුරක බලය - Parapuraka Balaya:

Shortcuts

Share