19/05/2026
"යුද්ධයක මිය යන්නෙ සතුරු පාර්ශවය විතරක්ම නෙමෙයි, තමන්ගේ ගිනි අවිය ඉස්සෙන්නෙ ඔහු සැබෑ සතුරා නිසාම නෙමෙයි, බෝම්බ වලින් පිපිරිලා යන්නේ සතුරාගෙම ලෝකය විතරක් නෙමෙයි, මුළු මහත් මනුෂ්‍යත්වයක්, සහෝදරත්වයක්, රටක්, ජාතියක්,සංකෘතියක්, ඒකට ජාතියක්, ආගමක්, භාෂාවක් අදාල වෙන්නෙ නෑ. ඔක්කොම එක මිනිස් පොකුරක් විදියට.
ඉතින් අපි යුද්ධ කරේ ත්‍රස්තවාදීන් සමග මිසක් වෙනත් ජාතිකත්වයක් , ආගමක්, සංකෘතියක් හෝ භාෂාවක් සමග නෙමෙයි. ඒත් මෙවැනි අවස්තාවල උත්සහ කරන්නෙ ඒ යුද්ධයේ මිලේච්ච රහට කැමති එයින් රටක් ගිණි තබා හෝ තම දේශපාලන වාසිය හොයන ලේ වලින්, මිණී මතින් තම බලය රැකගන්න හදන ලේ පිපාසිතයින්ගේ ජාතිවාදී දෘෂ්ඨිවාදය සමාජයේ පැතිරීමයි. යුද්ධයෙන් මිය ගිය තම සහෝදරයට, පුතා ට, ස්වාමි පුරුෂයාට, තාත්තට පහනක් පත්තු කිරීම යුද්ධය දිනපු පාර්ශවයට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක මේ භූමියේ වලදාපු ඕනෑම මනුෂ්‍ය ආත්මයක් වෙනුවෙන් සිදු කල හැකියි.
මෙයට හොඳම උදාහරණය තිබෙන්නෙ සොෆෝක්ලීස්ගේ ඇන්ටගනී නාට්‍යයේය. මෙම නාට්‍යයයේ කේන්ද්‍රීය තේමාව වන්නේ රජුගේ නීතියට වඩා සොබාදහමේ/දෙවියන්ගේ නීතිය (සදාචාරාත්මක යුතුකම) උසස් බව පෙන්වා දීමයි. තීබ්ස්හි පාලක ක්‍රියොන් (Creon) රජුගේ නියෝගය නොතකා, දේශද්‍රෝහියෙකු ලෙස නම් කරන ලද තම සොහොයුරු පොලිනීසීස්ගේ (Polyneices) මළ සිරුරට ආගමික වතාවත් ඉටු කරමින් එය මිහිදන් කිරීමට ඇන්ටිගනී ඉදිරිපත් වීමයි. යුද්ධයේදී තම සහෝදරයන් දෙදෙනාම මියගොස් ඇත. එකෙක් රාජ්‍ය වෙනුවෙන් එකෙක් රාජ්‍ය ද්‍රෝහිකු ලෙස. නමුත් ඔවුන් දෙදෙනාම් යුද භූමියේ එකම භූමියේ මියගොස් ඇත. මෙහිදී රාජ්‍ය බලය සහ පෞද්ගලික හෘදය සාක්ෂිය අතර බලවත් ගැටුමක් නිර්මාණය කරන අතර යුද්දයකදී මිය යන්නෙ සතුරාම පමණක් නොවන බව පෙන්වා දෙයි.