21/05/2026
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක්
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් ඊයේ (20) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
මෙහිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ එහි නියෝජිතයින් පිළිගනිමින් අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.
“ඔබගේ සංචාරය ශ්‍රී ලංකාව සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අතර වර්ධනය වන සම්බන්ධතාවය පිළිබිඹු කරන අතර අපගේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අනාගත සහයෝගීතාව සඳහා ප්‍රායෝගික මාර්ග ගවේෂණය කිරීමට වැදගත් අවස්ථාවක් සපයයි.
ෂැංහයි සහයෝගිතා සංවිධානය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරයි. සංවිධානයේ පළමු හවුල්කරුවා ලෙස ශ්‍රී ලංකාව ෂැංහයි සහයෝගිතා සංවිධානය කලාපීය සහයෝගීතාව, තිරසාර සංවර්ධනය සහ දකුණු ගෝලීය සහයෝගීතාවයේ සාමූහික අභිලාෂයන් ප්‍රවර්ධනය කරන වැදගත් වේදිකාවක් ලෙස පිළිගනී.
ලෝකයේ ප්‍රමුඛතම කලාපීය සංවිධානයක් ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කැපී පෙනෙන වර්ධනය සහ බලපෑම අපි අගය කරන අතර එහි සාමාජික රටවල් සහ හවුලුකරුවන් අතර ආරිථික සහයෝගීතාව, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකාර්මික නවීකරණය සහ තිරසාර ග්‍රාමීය සංවර්ධනය වැඩිදියුණ කිරීම සඳහා එහි අඛණ්ඩ උත්සාහයන් අගය කරමු.
කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ, ජීවනෝපායන්වල සහ ජාතික ආහාර සුරක්සිතතා න්‍යාය පත්‍රයේ මූලික අංගයක් ලෙස පවතී. මෙම සහයෝගීතාවය මත කෘෂිකාර්මික තාක්ෂණය, දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, පොහොර සහයෝගීතාව, පශු සම්පත් සංවර්ධනය, පර්යේෂණ හවුල්කාරීත්වයන්, අගය එකතු කළ නිෂ්පාදන, ආහාර සැකසීම, කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය සහ වෙළඳපොළ ප්‍රවේශය වැනි ක්ෂේත්‍රවල ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමඟ සහයෝගිතාව ගැඹුරු විභවයක් පවතින බව අපි දකිමු.
ආර්ථික ඒකාබද්ධතාවය සහ සංවර්ධනයට සහය වන මුලපිරීම් පිළිබඳව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ අඛණ්ඩව පවතින සාකච්ඡා මඟින් ද අප දිරිමත් කරනු ලබන අතර, මෙම උත්සාහයන් සඳහා ඵලදායී ලෙස දායක වීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.”
මෙහිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා ද අදහස් පළ කළේය.
“මෙම අවස්ථාව ඉතාම සතුටුදායක අවස්ථාවක්. මේ වෙනකොට ශ්‍රී ලංකාව අත්කරගෙන තියෙන වේගවත් සංවර්ධන ක්‍රියාවලිය ඇතුළේ ශක්තිමත් ආර්ථිකයත් ඒ වගේම ජාත්‍යන්තරව දිනාගෙන තියෙන තත්ත්වයත් සතුටුදායකයි. මහජනතාවගේ ජීවන තත්ත්වය ක්‍රමිකව වර්ධනය වෙන අවස්ථාවක තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානය අන්තර් රාජ්‍යයන් අතර තියෙන ජාත්‍යන්තර සංවිධානයක් හැටියට තමයි ක්‍රියාකරන්නේ. මේ සංවිධානය තුළ සාමාජිකයන් 27ක්, ඊට සම්බන්ධ ආයතන 15ක් සහ නිරීක්ෂකයන් දෙදෙනෙකු සිටිනවා. ලෝක ආර්ථිකයෙන් 25%කුත් සමස්ත භූමි ප්‍රමාණයෙන් 40%කුත් මේ සංවිධානය යටතේ ආවරණය වෙනවා. මෙම සංවිධානයේ තියෙන සාමාන්‍ය ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සියලුම අංශ ආවරණය වෙනවා. නීතිය, කෘෂිකර්මාන්තය, සාමාජයීය තත්ත්වයන්, සංස්කෘතිය වැනි සෑම අංශයක්ම මේ සංවිධානයේ ක්‍රියාවලිය ඇතුළේ ආවරණය වෙනවා.
ශ්‍රී ලංකාව කියන්නේ අපේ වටිනා සහකරුවෙක්. මෙහි ප්‍රධාන අංශ හැටියට තිරසර කෘෂිකර්මාන්තය, නව කෘෂිකාර්මික වැඩපිළිවෙලවල් එක් කරගෙන අප ඉදිරියට යා යුතුයි. විශේෂ වැඩසටහන් තියෙනවා, ශාක අභිජනනය සම්බන්ධව. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඊළඟට සභාපතීත්වය හිමිවන්නේ පකිස්ථානයට. පකිස්ථානයේ පැවැත්වෙන අමාත්‍යාංශයීය රැස්වීමට ගරු අමාත්‍යතුමාට ආරාධනා කර සිටිනවා.”
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ (තේ සංවර්ධන) අතිරේක ලේකම්, වාරිමාර්ග සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, පශු සම්පත් සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, පොහොර සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහභාගී වූ අතර ඔවුන් විසින් ද අදහස් පළ කරන ලදී.