23/05/2026
විජයග්‍රහණයට එරෙහි මාලිමා කුහකත්වය
2009 මැයි 18 විජයග්‍රහණය අවතක්සේරු කිරිමට අනුර කුමාරගේ ආණ්ඩුවට ලොකු උවමනාවක් තියෙනවා. ලෝකේ වටේ කරක්ගහලා ඩයස්පොරාවෙන් ගත්ත ණයට වන්දි ගෙවන්න වගෙම ජනාධිපතිවරණයට කලින් උතුරට ගිහින් සුමන්තිරන්ලට දුන්න පොරොන්දුවලටත් සාධාරණයක් කරන්න ඕනේ. මේ ඔක්කොම එක්ක ජෙප්පන්ගෙ නෛසර්ගික කුහකකම නිසාත් විජයග්‍රහණය පිළිබඳව ගැම්මෙන් කතා කරන්න බැරියාවක් තියෙනවා.
අනුර කුමාර පොවන තර්කය තමා, එල් ටීටීය කියන්නේ, ලංකාවේම තවත් ජන කොටසක් වු දෙමළ ජනතාව ඉලක්ක කරගත් ත්‍රස්තවාදි සංවිධානයක්. අපේම රටේ අපේම මිනිස්සුන්ට එරෙහිව ලබන යුධ ජයග්‍රහණයකින් සතුටු වෙන්න බෑ. මේ යුද්ධයෙන් දෙපාර්ශවයෙන්ම මැරුනේ අපේම මිනිස්සු. ඒක තවත් රටකට එරෙහිව සටන් කරන ජාත්‍යන්තර යුද්ධයක් උනා නම් සමරන්න තිබුනලු.
අපි වගෙ නෙමේ, මාක්ස්වාදින් කියන්නේ ජාත්‍යන්තරවාදීන්. දේශ සීමා ඉක්මවා ගිය මානුෂිකත්වයක්. එතකොට ප්‍රශ්නේ වෙන වෙන රටවල් වල ඉන්නේ මිනිස්සු නෙමේද? එකම විශ්වයක අපේම මිනිස්සු නෙමේද? මේ 15 වන ශත වර්ෂයේ ඇති කර ගත් ජාතික රාජ්‍ය සීමාවන් වලින් විශ්වීය මනුෂ්‍යත්වය බෙදා වෙන් කර ගැනීම මාක්ස්වාදීන් කොහොමද සාධාරණිකරණය කරන්නේ. මේක ජෙප්පන්ගෙ බුද්ධියට යටපත් කරගෙන කුහකත්වය උඩට ආපු අවස්ථාවක්.
අනිත් අතට ජවිපේ 2009 යේ අය වැයේදි ඇදපු බකට් එක සාර්ථක වුනා නම් , අද අනුර කුමාරට රටවල් දෙකක යුධ ජයග්‍රහණයක් විදිහට සමරන්න තමයි වෙන්නේ. ඒ සැමරුම එක රටක් විදිහටම අවසන් උනේ, රණවිරුවන්ගේ මෙහෙවර නිසා. අනුර කුමාර කියනවා වගේ ප්‍රභාකරන් යුද්ධය කලේ රටවල් දෙකක් කියල හිතා ගෙන තමා. වවුනියාවෙන් එහාට යන කොට අලුත් දේශ සීමාවක්. වාහනෙන් බැහැලා ලියා පදිංචි වෙලා පරික්ෂාවට ලක්වෙලා ආයේ නගින්න ඕනේ. පාස්පොර්ට් එකක් විතරයි නොතිබුනේ. අන්තිමට සිංහල මිනිස්සු හිටපු ගම්මාන , මායිම් ගම්මාන වෙලා තිබුනේ. ප්‍රභාකරන් නඩේසන් එක්ක වෙනම පොලිසි හැදුවා. එල්ට්ටීඊ අධිකරණවල නඩු ඇහුවා. ඔවුන්ට නතු වෙලා තියෙන ප්‍රදේශ වල වෙනම බදු හඳුන්වා දුන්නා. එල්ටීටීඊ බැංකු තිබුනා.
තව කාලයක් යුද්දේ ඇදුනා නම්, අනුර කුමාර කියන විදිහට උතුරේ ඔය කියන විදිහට දෙමළ සහෝදරවරු මොන්ටිවීඩියෝ ජාත්‍යන්තර සම්මුතිය අනුව වෙනම රාජ්‍යය ප්‍රකාශයට පත්කරනවා.
මේ වගේම තමයි යුධ ජයග්‍රහණයට ලබාදුන් දේශපාලන නායකත්වය පිළිගන්න බැරි කුහකත්වය. යුධ ජයග්‍රහණය නිසැකවම සාමුහික ප්‍රයත්නයක්. දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, කොටි කටේ ගම් අතහැර යන්නේ නැතුව හිටපු සිංහල මිනිස්සු, එල්ට්ටීයට එරෙහිව අපිට සහය දුන්න දෙමළ මිනිස්සු, රණවිරුවන්ගේදෙමාපියන්, බිරින්දවරුන්, දරුවන්, බස් බෝම්බ වලට බය නැතුව රටේ ආර්ථිකය ශක්තිමක් කරපු මිනිස්සු, බෝධි පුජා තියලා රණවිරුවන්ට ආශිර්වාද කරපු ස්වාමින් වහ්න්සේලා සහ ගම් වල ජනතාව, මේ යුද්දෙ කරන්න පුලුවන් කියන ජාතිකවාදි මතය සමාජ බලවේගයක් කරපු ජාතිකවාදින්.
ඒ විතරක් නෙමේ බිල් ලාඩර්න්ගේ සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව ලෝකය පුරා ත්‍රස්තවාදයට එරෙහිව පැතිර ගිය මෙහෙයුම, ප්‍රභාකරන් රජිව් ඝාතනය, ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරය, ඉන්දිය- පකිස්තානු රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටුම වැනි අවස්ථානුගත කරුණුත් යුධ ජයග්‍රහණයට සමෝධානික ශක්තියක් උනා.
ඒ වුනත් ජනතා පරමාධිපත්‍යය තිබෙන ප්‍රජාත්‍රන්තවාදි රටක සිවිල් බලය තිබෙන්නෙ සන්නද්ධ බලයට ඉහලින්. ඒ නිසා තමයි ප්‍රජාත්‍රන්තවාදි රටවල සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායකයා සහ යුද්ධය සහ සාමය ප්‍රකාශයට පත් කිරිම හැම විටම දේශපාලන නායකත්වයට පැවරිමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායේ හරය. යුද්ධය කරනවා වගේ මහා දැවන්ත වැඩ විතරක් නෙමේ, මාලිමා ආණ්ඩුව යටතේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට දාන වේලක් , ගිලන් පස වේලක් හමුදා කඳවුරකින් දෙන්නවත් දේශපාලන අධිකාරියේ ආශිර්වාදය නැතුව බැරි බව උතුරු සහ නැගෙනහිර වැඩකරන අපේ අය දන්නවා.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ