Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

  • Home
  • Sri Lanka
  • Bandaragama
  • Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!! Publish only Buddha Darmaya

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්...
04/06/2026

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූ මෙවන් උත්තරීතර දවසක් අද ගෙවී ගියේ බහුතරයක් ජනතාවගේ සිත්සතන් බිය සහ සැකය නමැති පංචනීවරණ ධර්මයන් තුළ දෝලනය කරලා. මෙවන් උතුම් වෙසක් මංගල්‍යයක් උදා වූ මේ අසිරිමත් දවස් අපේ ජීවිත පංචනීවරණයන්ට අයිති වුණේ ඇයි කියලා ධර්මානුකූලව නුවණින් මෙනෙහි නොකරම මේ වෙසක් සතිය ගෙවී ගියොත් එය අපි හැමෝගේම අවාසනාවක්ම වේවි.

බුදුරජාණන්වහන්සේ අද වැනි දිනක දේශනා කරන තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධ ලෝකය නිරතුරුවම කැඞී බිඳී විසිරී යනවාය කියලා. බුදුරජාණන්වහන්සේගේ උපාදානය නිරෝධය කළා ආධ්‍යාත්මික රූපස්කන්ධය අද වැනි දිනයක බාහිර සතරමහා ධාතුවට කැඞී බිඳී විසිරී ගියා.

මෙය සටහන් තබන භික්ෂුව දෑස් දෙක පියාගෙන මේ නිමේෂයෙදිත් භික්ෂුව දෙපා තබාගෙන තිබෙන මහපොළොව නමැති සතර මහා ධාතුව තුළින් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවීගිය රූපස්කන්ධයත්, බාහිර සතරමහා ධාතුවට මුහු වූ පඨවි ධාතුවත් එකම ස්වභාවයේ පඨවි ධාතුවක්ය කියලා දකිනවා. සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන අර්ථයම පූර්වාදර්ශී ධර්මයක්ම එකතුකරලා බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගේ පෞරුෂත්වයෙන් හැඩගැන්වී තිබුණු බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාත්මික පඨවි ධාතුව මේ නිමේෂයේදිත් භික්ෂුව දෙපා තබාගෙන සිටින මහපොළොවේ පස තුළින් මතුකොට දකිනවා.

භික්ෂුව වැඩසිටින කුටියට යාබදව තිබෙන කැලයේ සතාසිවුපාවා සාපිපාසාව සංසිඳුවා ගන්න ජලයෙන් පිරුණ කුඩා වැවේ ජලයත් බුදුරජාණන්වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයෙන් බබළන රූපකායේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවත්, එකම ස්වභාවයේ ආපෝ ධාතුවක්ය කියලා. භික්ෂුව මේ නිමේෂයේදිත් නුවණින් දකිනවා.

මේ සුන්දර රාත‍්‍රියේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන කැලයේ ගහකොළ සිපගෙන හමා එන සුළං රැලි තුළින් බුදුරජාණන්වහන්සේගේ ආධ්‍යාත්මික වායෝ ධාතුවේ ස්වභාවයත් මේ මොහොතේ භික්ෂුවගේ සිරුරේ දැවටෙන වායෝ ධාතුවේ ස්වභාවයත් එකක්ම බව භික්ෂුව නුවණින් දකිනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සෑම පසළොස්වක පොහොය දිනයකම ශක‍්‍ර දෙවියන්ගේ ප‍්‍රධානත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්‍ෂාවෙන් තව්තිසාවේ සුදම් සභාව රැස්වෙනවාය කියලා. පසළොස්වක සඳ සේ ප‍්‍රභාෂ්වර සූර්ය වර්චසි කියන දිව්‍යාංගනාව තම පිරිවර දිව්‍ය නාට්‍යාංගනාවන් සමඟ සුදම් සභාවේ දෙවිවරුන් දිව්‍ය නර්තනයෙන් ආධ්‍යාත්මිකව සතුටු කරනවාය කියලා සූත‍්‍රගත ධර්මයේ සඳහන් වෙනවා.

ආලෝකවත් පසළොස්වක පොහොය සඳත් සුන්දර දිව්‍යාංගනාවනුත් අතර මොනතරම් සමීප සම්බන්ධතාවක් තිබෙනවාද. මේ සටහන කියවන පිංවත් ඔබට සිතෙන්නේ නැතිද අනේ මටත් එවැනි දිව්‍යාංගනාවක් වෙන්න ඇත්නම් කියලා. එසේත් නැතිනම් අනේ මටත් සඳසේ ප‍්‍රභාෂ්වරව කැලූම් දෙන රන් තැඹිලි පැහැ දිව්‍යාංගනාවක් අයිතිකර ගන්න ඇත්නම් කියලා. මේ මොහොතේ භික්ෂුවගේ මුවගට පුංචි සිනහවක් නැෙඟනවා.

maharathun2 රන් තැඹිලි පැහැයෙන් බබළන මසින් පිරුණු නව යොවුන් වෙසක් පසළොස්වක පොහොය සඳවතිය දෙස බලනකොට බුදුරජාණන්වහන්සේ අපිට අද වැනි දිනයක මහා කරුණාවෙන් දේශනා කරනවා, මහණෙනි ඔබ ඔය දකින්නේ රූපයේ ආශ්වාදයයි කියලා. ඔබ ඔය මනසින් විඳින්නේ කාමයේ ආශ්වාදයයි කියලා.

සුන්දර නව යොවුන් වෙසක් සඳවතිය ඔබ වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් මේ රාත‍්‍රියේ ආලෝකවත්ව බැබළුණත් අපි අසිහියෙන් ඇය දෙස බැලූවොත් ආශ්වාදයේ කෙටි මිරිඟුවටමයි බැඳී යන්නේ.

සියලූම සංස්කාරයෝ අනිත්‍ය බව ධර්මානුකූල සත්‍යයක්. නමුත් මේ සත්‍යය පිළිගන්න නම් අනිවාර්යයෙන්ම උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිතක් තිබෙන්නටම අවශ්‍යයි. කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වල වෙච්ච ලෝකයක අපි කෙසේ නම් සම්මා සමාධියක් සමාජය තුළින් බලාපොරොත්තු වෙන්නද?

අපි සමාජයට මොනතරම් ධර්මය දේශනා කළත් ධර්මය සටහන් තැබුවත් පංචනීවරණ විසින් සමාජය ග‍්‍රහණය කොටගෙන තිබෙන්නේ හරිම අවාසනාවන්ත ලෙසින්. මේ අවාසනාව, අහිංසක පාසල් දරුවාගේ ජීවිත පවා බරපතළ ලෙස ග‍්‍රහණය කොටගෙන තිබෙනවා. භික්ෂුවට පසුගිය දිනක මුණගැසුණා වයස අවුරුදු පහක පමණ දරුවෙක් සිටින තරුණ තාත්තා කෙනෙක්. බලාපොරොත්තු කඩවුණ ඉරියව් දක්වමින් ප‍්‍රකාශ කළේ ස්වාමින්වහන්ස අපි නම් වර්තමානයේ තිබෙන ආහාර රටාවත් සමඟ වස විෂ ශරීරගත වෙලාම තව ටික දවසකින් ලෙඩ වෙලා මැරිලා යාවි ඒත් මේ මුකුත්ම නොතේරෙන පුංචි දරුවන්ට අනාගතයේ කුමකින් කුමක් වේවිද කියලා.

අපේ මේ දරුවන් අනාගතයේදී මොන තරම් වියරු, විකෘති සමාජයකට ද පියවර තබන්නේ කියලා. මේ රටේ ජීවත්වෙන සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම ඉදිරියේ සමාජගතවෙලා තිබෙන තම දරුවන් කෙරෙහි අනාගත බිය, වර්තමානයේ පමණක් නොවේ අතීතයේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේත් රාහුල පුතණුවන් තුළින් මතුකොට දැක්කා. ඒ නිසාමයි, රාහුල පුංචි පුතණුවන් තම පියාගෙන් දායාද ඉල්ලමින් බුදුරජාණන්වහන්සේ පසුපසින් පැමිණෙද්දි තම පුතණුවන්ට දුකෙන් මිදීම උදෙසා ලබාදිය හැකි ශ්‍රේෂ්ඨතම දායාදය වන උතුම් පැවිදිභාවය ලබාදෙන්නේ.

නමුත් වර්තමානයේ අපේම අකුසලයේ අවාසනාව කියන්නේ දරුවෙක් පැවිදිකොට විනයානුකූලව ආරක්‍ෂාකොට ගන්නවාය කියන කාරණයත් මහා අභියෝගයක් බවටම පත් වී තිබෙනවා.

සංස්කාරයන්ගේ අනිත්‍යභාවය හේතුවෙන් සත්වයාගේ දැනීම් හෙවත් විඤ්ඤාණයත් නිරතුරුවම ධර්මය සහ අධර්මය දෙක අතරම දෝලනය වෙන නිසාම බුදුරජාණන්වහන්සේ අපට දේශනා කරනවා අප‍්‍රමාදීභාවයෙන් අප‍්‍රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කොට දමන්නය කියලා.

රාහුල ස්වාමින්වහන්සේ වයස අවුරුදු විස්ස සම්පූර්ණ වී උතුම් උපසම්පදා ශීලයට පත්වුණත් එතෙක් උන්වහන්සේට උතුම් රහත්ඵල අවබෝධය ලබාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. රාහුල ස්වාමින්වහන්සේ උතුම් උපසම්පදාව ලබන මොහොතෙත් ප‍්‍රමාදීභාවය තුළ ජීවත් වුණත් බුදුරජාණන්වහන්සේගේ අප‍්‍රමාදීභාවය හේතුවෙන්ම රාහුල කුමරුන්ට වයස අවුරුදු හයේදී පමණ උතුම් පැවිදිභාවය ලබාදෙනවා. ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක්ගේ අප‍්‍රමාදීභාවය තම ලෙයින් උපන් පුතු සදහටම දුකෙන් නිදහස් කළා.

වෙසක් පුරපසළොස්වක සඳවතියගේ ප‍්‍රභාෂ්වර ආලෝකයෙන් අලෝකවත් වී තිබූ කැලෑ පරිසරය එක පාරටම අඳුරුවෙලා ගියා, භික්ෂුව ආකාශය දිහා බලද්දි මහා කළු වලාවක් ඇවිල්ලා. වෙසක් පසළොස්වක සඳවතිය වසාගෙන. මොන තරම් සුන්දර ධර්මයක් ද භික්ෂුව මේ කළු වලාකුළ තුළින් දකින්නේ. සෑම සුන්දරත්වයක් පසුපසම අසුන්දරත්වය සැඟවිලා තිබෙනවා.

පිංවත් ඔබ දිවුර දිවුරා පොරොන්දු වෙන, නොකැළැල් නොඉඳුල් ආදරය ජාති ජාතිත් ඔබ මගේමයි කියන ආදරය මොන තරම් නම් මිරිඟුවක්ද?

පිංවත් ඔබේ පෙම්වතාමයි, ඔබේ පෙම්වතියමයි, ඔබේ බිරිඳමයි, ඔබේ ස්වාමිපුරුෂයාමයි, ඔබේ ඊළඟ පට්ච්චසමුප්පන්න ජීවිතයේදී ඔබට තවත් බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් ලබන්නට අවශ්‍ය සංස්කාර මේ ජීවිතයේදී සකස්කොට දෙන්නේ. වෙසක් සඳවතිය වසාගත් අසුන්දර කළු වලාව මේ මොහොතේ පහව යන්නේ ආදරයේ මිරිඟුව ගැන පුංචි අදහසක් පිංවත් ඔබ වෙනුවෙන් සටහන් තබලා.

අතීත මාරාවේශය සමාජගත වුණේ දේශපාලන පිංවතුන්ලාගේ අසීමිත බලතණ්හාවේ තෘෂ්ණාවත් ඊටම අත්වැළක් වූ පිංවත් ජනතාව තමන් උපන් රට ගැන නොසිතා බඩ ගැන සහ සාක්කුව ගැන සිතීමේ අනුවණභාවයන් නිසාමය.

වර්තමානයේ සමාජගත වී ඇති දේශපාලන මාරාවේශයෙන් මිදීමට පිංවත් ජනතාව අනාගතයේදී තවත් දේශපාලන මාරාවේශයකට නම් රැවටෙන්න එපා. දේශපාලනයේ ඇත්ත වෙනුවට තවත් දේශපාලන අනුකරණයක් නැවත සමාජගත වුණොත් නැවතත් රටේ බොරුව රජවෙනවාමයි.

අද වැනි අසිරිමත් වෙසක් දිනයක බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනාකොට තිබෙනවා, තෘෂ්ණාවෙන් උපදින මාරාවේශයක් පරාජය කළ හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්මය කියලා. පිංවත් ඔබ අද දවසේ චිත්තයක් ඇතිකොටගන්න අධර්මය ධර්මයෙන් ජයගන්නවාය කියලා. ජාතික සමගියේ අත්වැල මෛත‍්‍රියෙන්ම ශක්තිමත්කොට ගන්නවා කියලා.

රාජගිරියේ අරියඥාන හිමි

පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වු...
03/06/2026

පිංවත මේ ලෝක ධාතුවේ උත්කෘෂ්ට ම සීලය උතුම් උපසම්පදා සීලයයි. උතුම් උපසම්පදා සීලයට නිවැරදිව, අර්ථවත්ව ධූතාංග සීලයන් එකතු වුණොත්, එය උත්තරීතර සීලයක් ම වෙනවා. පිංවත මේ උත්තරීතර සීලය සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වුණොත්, සීලය විනිවිද, අපි ඥාන දර්ශනයෝ මතුකොට ගන්නවා. පිංවත උපසම්පදා භික්ෂුවකගේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අයිති වෙන්නේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වූ උජුපටිපන්න ගුණයටයි. උපසම්පදා භික්ෂුවක් ප්‍රාතිමෝක්‍ෂ සීලයට ගරු නොකළොත්, එම භික්ෂුව මළ දහමක් බවටයි පත්වෙන්නේ. පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝක ධර්මයන් ඉදිරියේ තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාගේ ගැලවුම්කරුවා වෙන්න ඕනේ. උපසම්පදා භික්ෂුවක් තමන් අත්දකින සෑම කැමති සහ අකමැති දෙයක් ම කුසල් සහ අකුසල් සංස්කාරයන්ටයි භාරදිය යුත්තේ. එවිටයි ඇලීම් සහ ගැටීම් බහුල ලෝකය තුළ භික්ෂුවකගේ ඉන්ද්‍රීය සංවරභාවය ආරක්‍ෂාකොට ගත්තා වෙන්නේ. පිංවත ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තිය ඉදිරියේ භික්ෂුවකගේ බිය, සැක, පාළුව, තනිකම නිෂේධ වෙලා යනවා. පිංවත ප්‍රතිමෝක්‍ෂ සීලයේ ශක්තියෙන් භික්ෂුවක් තුළ උපදින ඥායපටිපන්න ගුණය සහ සාමීචිපටිපන්න ගුණය උපසම්පදා භික්ෂුවකගේ දිට්ඨධම්මවේදනීය ආරක්‍ෂකයා වෙනවා. උතුම් ඥායපටිපන්න ගුණය තුළින් උපදින විදර්ශනාමය දැක්ම උපසම්පදා භික්ෂුවකගේ විමුක්තියට නොවරදින කැඩපතක් ම වෙනවා.

පිංවත උතුම් තෙමඟුල සිදු වූ වෙසක් සතිය ගෙවී ගියා. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යන්නේ අවිද්‍යාවේ වේගයෙන්මයි. වෙසක් පසළොස්වක පොහොය දවසේ නවයොවුන් බවේ ආශ්වාදයෙන් අපිට ආඩම්බරකම් පෙන්වූ තාරුණ්‍යයේ වෙසක් සඳවතිය, දවසින් දවස ජරා, ව්‍යාධි, මරණයන් දෙසටයි ගමන් කරන්නේ. පිංවත හෙට අනිද්දා සඳවතිය මිලින වී ගිය, කළුවර පොහොය උදාවේවි. පිංවත අවිද්‍යාවේ ගැඹුර නොවන්නට ලෝකය හරිම සරලයි. වෙසක් පසළොස්වක සඳවතියට හදවතින් ම ආදරය කරන අපි, කළුවර පොහොය දෙස අනාදරයෙන් බලන්නේ, අපේ අවිද්‍යාවේ ගැඹුර නිසාමයි. පිංවත අධ්‍යාත්මික සහ බාහිර රූපයන් හැදිලා තිබෙන්නේ සතර මහා ධාතුවෙන් නිසා අධ්‍යාත්මික සළායතනයනුත්, ඒවාට අරමුණු වන සෑම බාහිර රූපයක් ම අපිට සතර මහා ධාතුවට, ධාතු මනසිකාරයට අයත් කමටහනක්මයි. පිංවත ලෝකය ඉදිරියේ ඔබ සැඟවෙන්න එපා. ලෝකයට ඔබ විවෘත වෙන්න. ලෝකය ඉදිරියේ ඔබ සැඟවුණොත්, ලෝකය ඔබව ගිලගනීවි. රූපය ඉදිරියේ ඔබ සැඟවුණොත් ඇලීම් හෝ ගැටීම් තුළින් රූපය ඔබව ගිල ගන්නවා. පිංවත රූපය ඉදිරියේ ඔබ සැඟවෙන්න එපා. රූපය කායානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සය හේතුවෙන් සකස්වෙන ඇලීම් සහ ගැටීම් හෙවත් විඳීම් ඉදිරියේ සැඟවෙන්න එපා. විඳීම් වේදනානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සය කියන්නේ හේතුඵල ධර්මයක්, විඳීම් කියන්නේත් හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයන් ඉදිරියේ සැඟවී සිටින්න එපා. මේ හේතුඵල ධර්මයෝ ධම්මානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත ඵස්සයේ මුදුන් මුලෙන් ලෝකයට විතර්ක දෙන සිතුවිලි ඉදිරියේ සැඟවී සිටින්න එපා. සෑම සිතුවිල්ලක් ම චිත්තානුපස්සනාවෙන් විවෘතකොට දකින්න. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද, ලෝකයේ නිරෝධය විවෘතකොට ගන්න. පිංවත දුකට අධිපති ලෝකය, ලෝකය තුළ ම තබා, නොසමරන සැබෑ ලෝක නිදහසේ ඵල අත්දකින නිවුණ මිනිසෙක් වෙන්න. තෘෂ්ණාවෙන් ඇවිළෙන ලෝකය තුළ, නොඇවිළෙන මිනිසෙක් වෙන්න. පිංවත ඵස්සය අසල දී ලෝකයට විලංගු දමන ධර්මතාවය උතුම් සතර සතිපට්ඨානයෝමයි.

පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වෙනවාය කියලා, උතුම් ධර්ම විනය විවේචනය කරනවාය කියලා, විදේශීය අසත්පුරුෂ කාසි පොදිවලට ලොල් වී උතුම් ධර්ම විනය හාස්‍යයට ලක්කරනවාය කියලා අනුනට බැණලා, අනුනට චෝදනා කරන එකේ තේරුමක් නැහැ. අනුනගේ මිථ්‍යාදෘෂ්ටිකභාවයන් නිසා, නිවැරදි අපිත් අකුසල් සිදුකොට ගන්නවා පමණක්මයි. පිංවත කරුණාකර සම්මා සම්බුද්ධ ශාසනයට එල්ලවෙන අභියෝගයන් ඉදිරියේ ගැටෙන සිත් බැහැර කරලා, සම්මා දිට්ඨියට අදාළව හේතුඵල ධර්මයන් නුවණින් දකින්න. පිංවත කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව ඔබ ලෝකය දැක්කොත් ඔබ දකින්නේ ලෝකයේ නිරුවතයි. ලෝකයේ නිරුවත දැක්කොත්, ඔබට අනිවාර්යයෙන් ම ලෝකයට ඇලෙන්න හෝ ගැටෙන්නයි සිද්ධ වෙන්නේ. පිංවත කරුණාකර ලෝකයට කර්මය කර්මඵල විශ්වාසයේ ඇඳුම් අන්දවන්න. එවිට ඔබට පුළුවන් ලෝකයට නොඇලෙන, ලෝකයට නොගැටෙන ධර්මයේ උපේක්‍ෂාවෙන් ලෝකය දෙස බලන්න. පිංවත සම්මා සම්බුද්ධ ශාසනයේ ජනප්‍රියභාවය දුර්වල වෙනවා නම්, අපි කළයුත්තේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ශාසනය අමතක කිරීම නොවේ, අපේ පාඩුවේ අපේ වැඩක් බලා ගැනීම නොවේ. අපි කළයුත්තේ ශාසනයේ ජනප්‍රියභාවය යළි ඇතිකොටදෙන සීලයේ ශක්තිය සමාජය තුළින් ඔසවා තැබීමයි. තමන් උපන් රටට, ජාතියට, ශාසනයට අභියෝගයන් එනවා නම් අපි කළයුත්තේ අභියෝගයන්ගෙන් පලායාම නොවේ. අභියෝගයන් ඉදිරියේ යටත්වීම නොවේ. අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය අපිට ලබාදෙන උතුම් සීලයේ ශක්තියෙන් යළි සමාජය ඔසවා තැබීමයි. පිංවත ජාතියක් හැටියට අපේ බවභෝග සම්පත් විදේශීය නිෂ්පාදනයන් ඉදිරියේ බින්දුවට වැටෙනවා නම්, අපි කළයුත්තේ පිටරට දේ සිරිසැප දේ යැයි සිතීම නොවේ. අපේ බවභෝග සම්පත් යළි ආරක්‍ෂා කොටදෙන උතුම් සීලයේ ශක්තියෙන් ජාතිය අවදි කිරීමයි. පිංවත වර්තමානයේ සමාජය තුළ සිදුවෙන හුඟාක් මරණ නොසිතූ, නොපැතූ ආකාරයට සිදුවෙන අවාසනාවන්ත මරණ, එසේත් නැතිනම් බරපතළ කර්ම රෝගයන් නිසා සිදුවෙන වේදනාකාරී, අසහනකාරී මරණ. පිංවත පසුගිය දවසක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේ වසර තුනක පමණ කාලයක පටන් උදරයේ අමාරුවකට රජයේ රෝහලකින් බෙහෙත් ගත්තා. රෝහලෙන් හැමදාමත් බෙහෙත් දුන්නේ ගැස්ටි්‍රක් රෝගයට. පසුගිය දවසක උන්වහන්සේගේ උදරාබාධය දැඩිව උත්සන්න වී රෝහල්ගතව සතියක් ඇතුළත දී අපවත් වුණා. පිංවත උන්වහන්සේට තිබිලා තිබෙන්නේ උදරය පුරා ඔඩුදුවපු පිළිකාවක්. පිංවත වසර තුනක් රජයේ රෝහලකින් ප්‍රතිකාර ගත්තත්, අදාළ පිළිකාව හඳුනා ගැනීමට නොහැකි වූවේත්, අවසානයේ කර්ම රෝගයකින් උන්වහන්සේට අපවත්වීමට සිදුවූවේත් උන්වහන්සේ ම සකස්කොටගත් හේතුඵල ධර්මයන් නිසාමයි. පිංවත සමාජය තුළ උත්සන්න වෙන නොසිතූ, නොපැතූ ආකාරයට සිදුවන මරණ සහ වේදනාකාරී, අමිහිරි මරණීය අත්දැකීම් ඉදිරියේ සිහිමුළාවට පත් වී සිදුවන මරණ සමාජය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා නම්, අපි කළයුත්තේ අනේ අපොයි කියලා දුක්වීම නොවේ, අර්ථවත්ව සමාජය තුළ මෛත්‍රිය සහ සීලයේ ශක්තිය වර්ධනය කොටදීමයි.

පිංවත මෛත්‍රිය, සීලය, ත්‍යාගය තුළින් අපි රැස්කොට ගන්නා සෑම සංස්කාරයක් ම යහපත් විපාකයන් අත්කොට දී අනිත්‍ය වෙලා යනවා. එම නිසා මේ උතුම් ධර්මයෝත් ජාති, ජරා, ව්‍යාධි, මරණ උපද්දවාදෙන ධර්මයෝමයි. සම්මා සමාධිමත් සිතකින් මෛත්‍රිය, සීලය, ත්‍යාගයේ අනිශංස ධර්මයෝ විදර්ශනාවෙන් මතුකොට දැක්කොත් පමණක්මයි, ඥාන දර්ශනයන්ට සහ විමුක්තියට ඉහත ධර්මයෝ උපකාරකොට ගත්තා වෙන්නේ. පිංවත උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් මගහැර, මෛත්‍රියට, සීලයට සහ ත්‍යාගයට මුල්තැන දෙද්දි සීලය, මෛත්‍රිය, ත්‍යාගයේ නාමයෙන් අපි වඩා ගන්නේ අකුසල් මූලයන් වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝමයි. අවසානයේ මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ නාමයෙන් අපි තුළ තිබුණ සම්මා දිට්ඨියේ දැක්මත් අපි විනාශකොට ගන්නවා. පිංවත මෙය සටහන් තබන භික්ෂුව සමාජයට සද්ධර්මය දේශනා කරනවා. භික්ෂුව පිංවත් ජනතාවට සද්ධර්මය දේශනා කරන්නේ පිංවතුන්ලාට මෙලොව සහ පරලොව යහපත මතුකොට දෙන්න. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජනතාවට පැහැදිලිකොට දෙන්න. ඉහත කාරණයේ දී පෙරළා භික්ෂුවට සමාජයෙන් යහපත් ප්‍රතිචාරයන් ලැබෙනවා, ලාභසත්කාර, කීර්ති, ප්‍රශංසා, සශ්‍රීක සිවුපසය ලැබෙනවා. පිංවත මේ සියල්ල ම අතීත පිනෙන් උපන් මාර ධර්මයෝමයි. පිංවත ගිහි වේවා, පැවිදි වේවා සමාජයට සද්ධර්මයෙන් උපකාර කරන්නට ගිහිල්ලා, ඉහත මාර ධර්මයන් හේතුවෙන් අපි ලෝභ, ද්වේශ, මෝහයෝ ඇතිකොට ගත්තොත් අපේ තිබුණ සම්මා දිට්ඨියත් අපි දුර්වලකොට ගන්නවා. පිංවත සමාජයට සීලය, මෛත්‍රිය, දානය ගැන කියන්න ගිහිල්ලා, පෙරළා ලැබෙන යහපත් ප්‍රතිචාර ඉදිරියේ අපි ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඇතිකොට ගත්තොත්, අපි මෙතෙක් පුහුණුකළ උතුම් සම්මා දිට්ඨියමයි අභියෝගයට ලක්වෙන්නේ. අපි තුළ වැඩෙන සක්කාය දිට්ඨියටමයි අපි ආහාර සොයා දුන්නා වෙන්නේ. පිංවත ලෝකය කියන්නේ දෙපැත්ත ඇවිළෙන පන්දමක්. පිංවත් ඔබ මේ දෙපැත්ත ඇවිළෙන පන්දමේ හරි මැදින්මයි අල්ලාගත යුත්තේ. පන්දමේ හරි මැද කියලා කියන්නේ ඇලීම් සහ ගැටීම් ගින්දරින් තොර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් මතුකොට ගන්නා, ගිනි රස්නය යාන්තමට දැනෙන, එහෙත් ආරක්‍ෂාකාරී ධර්මයේ උපේක්‍ෂාවයි.

පිංවත තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපි නොසිතන අමුතු තාලයේ ප්‍රශ්නයක් භික්ෂුවගෙන් විමසුවා. උන්වහන්සේ භික්ෂුවගෙන් අහනවා, ස්වාමීන් වහන්ස, යම් උපසම්පදා භික්ෂුවකට ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය, සමාජයෙන් කීර්ති, ප්‍රශංසාවන් උපරිමයෙන් ලැබෙනවා; උන්වහන්සේ එම ප්‍රතිලාභයන් උපරිමයෙන් පරිහරණය කරමින් වැඩ සිටිනවා, හැබැයි උන්වහන්සේ කියනවා, තමන් මේ ලාභසත්කාරයන් පරිහරණය කරන්නේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ආරක්‍ෂා කොටගෙනය කියලා. පිංවත ඉහත කතාව ඇත්තක් වෙන්න පුළුවන් ද කියලයි එම තරුණ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ආරක්‍ෂාව තුළ ලාභසත්කාරයෝ, සශ්‍රීක සිවුපසය පරිහරණය කරනවා කියන කාරණය ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් එම ඇත්ත තුළ, අපේ පිනට සැඟවුණ තිත්ත ඇත්තකුත් සැඟවිලා තිබෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීලය කියලා කියන්නේ මාර්ගය තුළ හුදෙකලා ධර්මයක් නොවේ. සීලය නිවන් මාර්ගය තුළ හුදෙකලා ධර්මයක් නම්, ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය සිත් සේ පරිහරණය කරමින් උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ආරක්‍ෂාකොට ගන්නවාය කියන කාරණයට ධර්මානුකූලව ලකුණු දෙන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ ගිහි කැපකරු පරිහරණය කරලා තමන්ට ලැබෙන ලාභසත්කාර විනයානුකූලව පරිහරණය කිරීමේ ඉඩකඩ විනය ධර්මයන් තුළ භික්ෂුවකට තිබෙනවා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපේ සීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඕනේ, අපේ සීලය සම්මා සංකප්පයන්ගෙන්, නෙක්ඛම්ම සංකප්පයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. ලාභසත්කාර, සශ්‍රීක සිවුපසය, කීර්ති, ප්‍රශංසා නෙක්ඛම්මයේ පෙරහන්කඩින් පෙරා පරිහරණය කළොත් පමණක්මයි අපේ ප්‍රාතිමෝක්‍ෂ සීලය අපිට සම්මා සතියක්, සම්මා සමාධියක් කරා අපිව මෙහෙය වන්නේ. පිංවත සීලය කියන්නේ අවබෝධයක් නොවේ. සීලය යනු ධර්මාවබෝධයට උපකාරක ධර්මයක් පමණක්මයි. අපි මොනතරම් ප්‍රාතිමෝක්‍ෂ සීලය ශක්තිමත් කොටගෙන ජීවත් වුණත්, සීලයේ ආනිශංස හේතුවෙන් සකස්වෙන ජනප්‍රියභාවය නිසාම, බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන ලද අල්පේච්ඡතාවය, ලද දෙයින් සතුටුවීම අපෙන් දුරස් වෙනවා. කර්මය කර්මඵල විශ්වාසය තුළින් සංස්කාරයෝ දැකීම අපි දුර්වලකොට ගන්නවා. ඇලෙන තැන ඇලෙනවා, ගැටෙන තැන ගැටෙනවා. එම නිසා ම සම්මා සංකප්පයෝ ජීවිතයෙන් පසු බසිනවා. පිංවත අපේ නෙක්ඛම්මය, අපේ සීලය තුළ සඟවා තබන්න බැහැ. පිංවත සීලයේ ඝෝෂාව මැදින් නෙක්ඛම්මයේ නිරුවත ආදීනවයක් වී කලඑළි බහිනවා.

පිංවත මීට මාස දෙකකට පමණ පෙරාතුව පැලවත්ත පැත්තේ ධනවත් මහත්මයෙක් භික්ෂුවට පණිවිඩයක් එවා තිබුණා, ස්වාමීන් වහන්සේට වාහනයක් පූජා කරන්න අවශ්‍යයි, ඒ ගැන ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්න කියලා. එම ඉල්ලීම ඉදිරියේ භික්ෂුවගේ සිහිනුවණ පිහිටියේ, භික්ෂුව රකින ප්‍රාතිමෝක්‍ෂ සීලය කෙරෙහි නම් නොවේ. එම ඉල්ලීම ඉදිරියේ භික්ෂුවගේ සිහිනුවණ පිහිටියේ උතුම් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන් කියන ලෞකික ප්‍රඥාව කෙරෙහිමයි. පිංවත භික්ෂුව දිවිහිමියෙන් සීලයට වටිනාකම් දුන්නත්, භික්ෂුව සීලය හිස මතට ගන්න භික්ෂුවක් නොවේ. භික්ෂුවගේ හිස මත තිබෙන්නේ උතුම් ලෞකික ප්‍රඥාවේ අර්ථයන්මයි. ගෞරවනීය පිංවත උතුම් තෙරුවන්ට දිවිහිමියෙන් කීකරු වෙන්න. ලෞකික ප්‍රඥාව ජීවිතයකොට ගන්න. එවිට සීලයත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත්, ඥාන දර්ශනත්, විමුක්තියත් පිනෙන් උපදින සශ්‍රීක සිවුපසයේ කාම රසය වෙනුවට, උතුම් නිවනේ නිදහස ම පිංවත් ඔබලාට ලබාදේවි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

උපුටා ගැනීම - 2024/06/02 වන ඉරුදින දිවයින පුවත්පත

02/06/2026

2026.05.30 දින පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් උතුම් වෙසක් පොහොය දින පනාගොඩ යුධ හමුදා බෝධීරාජාරාම විහාරස්ථානයේ පැවැත්වු සමථ විදර්ශනා දර්ම දේශනාව.

2026.06.02 දින පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සෙවනගල ජාතික පාසලේ පැවැත්වු සීල සමාදන් වැඩසට...
02/06/2026

2026.06.02 දින පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සෙවනගල ජාතික පාසලේ පැවැත්වු සීල සමාදන් වැඩසටහන.....

තමන්ගේ දෑතින් කළා වූ පිංකමක් සේ දැක සතුටු වේවා.. අනුමෝදන් වේවා

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?.......පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එ...
01/06/2026

ඔබ කවරාකාරයේ පිංවතෙක් ද?.......

පිංවත, ව්‍යාපාරික මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට මේ සහල් කිලෝ එක රුපියල් එකසිය පනහකට විකුණන්න පුළුවන්. ඒත් මම විකුණන්නේ රුපියල් එකසිය විසිපහටයි කියලා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් යුත් දක්ෂයා රුපියල් විසිපහේ (25) අමතර ලාභයක් උදෙසා මනුෂ්‍ය හිංසනයක් සිදුකොට ගන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් දෑස් අන්ධ වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළමුවැනි සිල් පදය දුර්වල වෙනවා. පිංවත, අසාධාරණ ලාභය ආශ්වාදයක් බව ඇත්ත. ඒත් මනුෂ්‍ය හිංසනයන්ගේ ආදීනවය කර්ම රෝගයන්ම බව ඔබ දන්නවා ද? රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව අයාලේ යෑමෙන්, අසීමාන්තික ලෙස දේශීය මුදල් අච්චු ගැසීමෙන් මුදලේ වටිනාකම හීනවී යෑමෙන් වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ සිද්ධවෙන මනුෂ්‍ය හිංසනයන් නිසාම, ලක්ෂ ගණන් පිංවතුන් කර්ම රෝගයන්ගේ ගොදුරු බවට පත්වීමේ දිශාවන්ට ගමන් කරනවා. රජයේ ගිම්හානය හේතුවෙන් ව්‍යාපාරික ලෝකයට උදාවී ඇති වසන්තය දෙස, කරුණාකර ලෞකික ප්‍රඥාවේ ඇසෙන් පමණක්ම බලන්න. ඔබට වඩා දැනුමෙන්, බහුශ්‍රැතභාවයෙන් යුත් වැඩිහිටියෙක්ව ඇසුරු කරන්න. මාරයා ව්‍යායාම කරන මේ මොහොතේ ඔබේ වැඩිහිටියා විය යුත්තේ ලෞකික ප්‍රඥාවමයි.

අපේ මාතෘභූමිය ආර්ථික වශයෙන් දුර්වල වුණත්, පිංවත් රටවාසී ජනතාවගේ තෘෂ්ණාව නම් හරිම දියුණුයි. දැන් ඔබලාට තේරුම් යනවා නේද, රටක් බංකොලොත් කරන්න තෘෂ්ණාවට පුළුවන් නේද කියලා. මේ වගේම තමයි අනාගතයේ දී අපේම තෘෂ්ණාව විිසින් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත් බංකොලොත් කරලා අතුරුදන්කොට දමන්නේ. තෘෂ්ණාවෙන් පෝෂණය වෙන පංච උපාදානස්කන්ධ මාරයාගේ වාසභූමිය වෙන්නේ පරනිම්මිත වරවර්ති දිව්‍යතලය නොවේ, පිංවත් අපගේ අවිද්‍යාවෙන් අපිරිසිදු ඵස්සය තුළයි. අපේම සක්කාය දිට්ඨිය නිසාම අපේම ඵස්සය අභ්‍යන්තරයේ හොල්මන් කරන දුකට අධිපති මාරයාව, තමන් තුළින් මතුකොට දකින්න අපි හරිම අකමැතියි. මාරයා කියද්දිම අපි ඇඟිල්ල දිගු කරන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍යතලයට. ඒත් දුකට අධිපති මාරයා ඔබේම අවිද්‍යාවෙන් පෝෂණය වෙන ඵස්සය තුළ සැඟවිලා පංච නීවරණ ඝනාන්ධකාරයේ හොල්මන් කරනවා.

පිංවත, මාරයාට වාසභූමියක් වුණත්, ජීවිතය කියලා කියන්නේ හරිම නිදහස් තැනක්. ඒක ඉතිං අපේ වචන වලට පමණක් සීමා වූ ජාතික නිදහස වගේ නිදහසක් නම් නොවේ. අපේ නිදහස් ජීවිතයට උපාදානයෝ බැසගත්තම ජීවිතය ඒකාධිපති වෙනවා. ඒ කියන්නේ “මම” පෙරට එනවා. තෘෂ්ණාවේ උපාදානයෝ ගැටුණ තැන අවිද්‍යාවේ දුර්ගන්ධයමයි තිබෙන්නේ. පංච නීවරණ ධර්මයෝ සහ සංස්කාරයෝ අවිද්‍යාවේ දුර්ගන්ධයයි. හැබැයි ඉතින් අනාගාමීඵල අවබෝධයේ දී පංච උපාදානස්කන්ධය කෙරෙහි අනුශය තෘෂ්ණාව ඉතිරි කරලා පංච නීවරණයෝ සිඳී යනවා. පිංවත, ඔබ අවංකවම අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය තුළ සිටින පිංවතෙක් ද? එසේත් නැතිනම් ආයුෂ, වර්ණය, සැපය, බලය සොයා යන භව මාර්ගයේ සිටින පිංවතෙක් ද? පිංවත, ඔබට පුළුවන් ද ලද දෙයින් සතුටු වෙන්න? ඔබට පුළුවන් ද අල්පේච්ඡභාවය තුළ ජීවත් වෙන්න? ඔබට පුළුවන් ද උදාවෙන හෙට දවස බලාපොරොත්තු රහිතව උදාකර ගන්න? පිළිතුර බැහැ නම්, ඔබ අවිද්‍යාවේම සුවච කීකරු ස්ථිර සේවකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැටුප ලබන්නෙක්. අවිද්‍යාව ගෙවන වැටුප තමයි තෘෂ්ණාව. පිංවත් ඔබට පුළුවන් ඔබගේ සළායතනයන් තුළින් තෘෂ්ණාව වියදම් කරලා, ඔබ කැමති කරන සංස්කාරයෝ තොග සහ සිල්ලරට මිල දී ගන්න.

පිංවත, මේ දවස්වල පාරිභෝගික භාණ්ඩ මිල වැඩි වුණත්, අකුසල් සංස්කාරයන්ගේ තොග සහ සිල්ලර මිල නම් හුඟාක්ම අඩුවෙලා. ලාබයි, ලාබයි කියලා අකුසල් සංස්කාරයෝ නම් ජීවිතගත කරගන්න එපා. සමාජයේ අකුසල් දැනීම් වැඩි නිසාම දෙදෙනෙක් කථාවට වැටුණහම, එම කතාවන් ලෝභ, ද්වේශ, මෝහ ගංගාවන් බවටමයි පත්වෙන්නේ. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ දාන කතා, ශීල කතා, මෛත්‍රී කතා, නෙක්ඛම්ම කතා අපේ ජීවිත වලින් හොඳටෝම දුර්වල වෙලා. අපේ පිංකම් සංස්කෘතියත් විරාජමාන වෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලය කෙරෙහි ලෝභ සිතුවිලි වලින්මයි. මෙය අහම්බයක් ද, එසේත් නැතිනම් විය යුත්තක් ද? මෙය අහම්බයක් හෝ විය යුත්තක් නොවේ. මෙය අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ දෙමාපිය ජානමය ලක්ෂණමයි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මුල්වරට කිඹුල්වත්පුරයට වැඩිය මොහොතේ මාන්නයෙන් ඔදවැඩී සිටි තම ඥාති ශාක්‍යයන්ගේ මාන්නය බිඳීමට බුදුරජාණන් වහන්සේට යමාමහ පෙළහර පාන්නට සිද්ධ වුණා. මාන්නය නිසාම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තම ඥාති ශාක්‍යයන් මොනතරම් නම් අකුසලයක් එදා සිදුකොට ගන්න ඇති ද? ඒ ශාක්‍ය වංශය බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විනාශයට පත්වෙලා යනවා.

පිංවත, අපේම පිනට උපන් දේවල්වල වටිනාකම අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි පිනට පයින් ගැසුවොත්, අපි ළඟට ගන්නේ අකුසලයමයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් මේ නිමේෂයේ දී ජීවමානව වැඩ සිටින්නේ අපේ පිනටමයි. තෘෂ්ණාව මාරයා කොට දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට, තෘෂ්ණාවෙන්ම පහරදීම සුදුසු නැහැ. ලෞකික ප්‍රඥාවෙන් තොරව අපි සොයාගෙන යන ආයුෂ, වර්ණය, සැපය, බලය අහක බලාගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ටමයි පෙරලා පහර දෙන්න උත්සාහ කරන්නේ. අතීතයේ ශාක්‍ය වංශය විනාශවෙලා ගියේ මමත්වයේ දැඩිභාවය නමැති විෂබීජය ඵස්සය ආසාදනය කිරීමෙන් ඇතිවෙන සක්කාය දිට්ඨියේ මානසික ව්‍යාධිය උත්සන්නව තිබූ නිසාමයි.

පිංවත, අපේම පිනට පහළවෙන ආයුෂ, වර්ණය, සැපය, බලය සමග අපි කටයුතු කරන්න ඕනේ හරිම පරිස්සමින්. අසිහියෙන් පොඩ්ඩ වරද්දා ගත්තොත් අකුසලයෙන් පිච්චීම නම් නියතයක්ම වෙනවා. වර්තමානයේ ජීවත්වෙන බෞද්ධ ජනතාවගෙන් හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ නිමේෂයේදීත් ජීවමාන ශාස්තෘන් වහන්සේ නමක් වැඩ සිටිනවාය කියලා. උතුම් තෙරුවන්ගේ ගුණයන් අදත් එසේමයි කියලා. පිංවත, බුදුරජාණන් වහන්සේ වැඩසිටිය අතීත කාලය යම් සේද, අදත් එම අර්ථයන් එසේමයි. මෙය සටහන් තබන භික්ෂුවට නම් උතුම් ශාසන අර්ථයන්ගේ කිසිම අඩුවක් පෙනෙන්නේ නැහැ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තවමත් උතුම් තෙරුවන්ගේ ගුණයන්ගෙන් පිරිලා. එක දශමයක්වත් අඩුවක් වෙලා නැහැ. යම් ගිහි හෝ පැවිදි පිංවතෙකුට අඩුවක් පෙනෙනවා නම්, ඒ අඩුව ජීවමාන ශාසන අර්ථයන්ගේ නොව පිංවත් ඔබගේම ලෞකික ප්‍රඥාවේ අඩුවයි. උතුම් ශාසන අර්ථයන් තවමත් ස්වයංපෝෂිත නිසාම අපි නොනැසී පවතින ශාසන අර්ථයන් සමග බොහෝම සිහිබුද්ධියෙන්මයි කටයුතු කරන්න ඕනේ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සෙල්ලමක් නොවේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් දශපාරමී ශක්තියේ ලේ උරුමයයි. අතීත මහ රහතන් වහන්සේලාගේ නික්ලේශී වීර්යවන්ත ජීවිතවල නිවීගිය උපාදානයන්ගේ පිවිතුරු කැඩපතයි. අපි අනාගතයේ යම් දවසක සතර පාරාජිකාවෝ ආදරයෙන් වැළඳ ගනී ද, එදාට චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වී යනවා. උපසම්පදා භික්ෂූන් වන අපගේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ දුර්වලභාවයන්ට පුළුවන් උතුම් සම්මා සම්බුද්ධ ලේ උරුමය පරිපූර්ණ වශයෙන් අතුරුදන්කොට දමන්නට. අපගේ කාමච්ඡන්දයන්ගේ පංච නීවරණයන්ට කුමන නම් අයිතියක් ද සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක උතුම් දශපාරමී ධර්මයන් තුළින් උපන් එවන් උත්තරීතර ලේ උරුමයකට අත තියන්න. පරිස්සම් වෙන්න අනාගතයේ යම් දවසක් එනවා, පෙර පිනට අපිට ලැබුණු ශාසන අර්ථයන් තුට්ටුවකටවත් මායිම් නොකළ භවාත්‍රයේ සියලූම සත්ත්වයින්ට කල්ප විනාශයක් තුළින් මුළු පෘථිවි තලයම පිච්චි, පිච්චී පටිච්චසමුප්පන්නව මැරි මැරී උපදින්න.

පිංවත, ඔබ තවම චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට නැති නම්, ඔබ මාරයාට සේවය කරන බව ඔබ දන්නවා ද? අපි ඵස්සය නිත්‍ය වශයෙන් ගත්ත තැන දී, මාරයාගේ ලෝකයේමයි උපදින්නේ. මාරයාගේ ලෝකයේ හරි ලස්සන විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ, දැනීම් පිරී ඉතිරී යන්න තිබෙනවා. පිංවත, ඔබ මේ සටහන කියවන මොහොතෙත් මාරයාගේ ලෝකයේ ඉපදිල ද සිටින්නේ? ඒ කියන්නේ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් තුළ දෝලනය වෙමින් ද මේ සටහන කියවන්නේ? මේ සටහන කියවනකොට ඔබේ මතකයට පැමිණි භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දැක්කේ නැහැ නේද? දැන්වත් දකින්න භික්ෂුවගේ රූපය ඇට සැකිල්ලක් කරලා. භික්ෂුවගේ රූපය ඇට සැකිල්ලක් හැටියට දැක්ක සිත නිත්‍ය වශයෙන් ගත්තා නේද? කරුණාකරලා එම සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. දැන් පිංවත් ඔබ තුළ සතුටු සිතක් ඇතිවුණා නේද? ඇයි ඔබ ඒ සතුටු සිතට බැඳුනේ? කරුණාකර එම සතුටු සිතත් වේදනානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න. දැන් ඔබ තුළ වැඩුණු ඉහත සියලුම ධර්මයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න. දැන් ඔබේ සිත ඔබෙන් ප්‍රශ්න කරාවි, දැන් “මම” කුමක් ද කරන්නේ කියලා. ඒ සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැකලා, ඔය ප්‍රශ්න කරන අවිද්‍යාවේ “මම” පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකිමින් මොහොතක් ගත කරන්න. දැන් ඉතිං සටහනේ ඉතිරි කොටස කියවන්න.

ගෞරවනීය වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ නමක් තවත් වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ නමකට කියනවා, අපේ අයත් දැන් ලාභසත්කාර වලට ගොඩාක් නැමිලා. වයෝවෘද්ධ අපිට දැන් ඉතිරිවෙලා තිබෙන්නේ අපේ පරපුරේ ආත්මගරුත්වය රැකගෙන අපේ දෙයක් බලා ගැනීම පමණක්මය කියලා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් මනුෂ්‍යයෝ ධාතු ධාතු හැටියට බැඳී යනවා” ය කියලා. පින්වත, සත්පුරුෂයෝ,...
01/06/2026

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් මනුෂ්‍යයෝ ධාතු ධාතු හැටියට බැඳී යනවා” ය කියලා. පින්වත, සත්පුරුෂයෝ, සත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, අසත්පුරුෂයෝ, අසත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවය ඉහත බැඳීම්වලට අත දිග හැර උපකාර කරනවා. පින්වත, පින්වත් මනුෂ්‍යයා තමන් පුහුණු කරන සංස්කාරයන්ට අදාළව ධාතු ධාතු හැටියට බැඳී යනවා නම්, සමාජය තුළ සිදු වන හොඳ සහ නරක යන කාරණා දෙක ඉදිරියේ සුන්දර ධර්මයේ අර්ථයක් මයි අපි මතු කොට ගත යුත්තේ. පින්වත, වර්තමානයේ සමාජය තුළ ඇති වන අර්බුදයන් ඉදිරියේ, එම අර්බුදයන්ට හේතුව ධර්මානුකූලව විග්‍රහ කොට දෙන්න බැහැ. පින්වත, ප්‍රශ්නයට හේතුව ධර්මානුකූලව මතු කොට දෙද්දී, එම පිළිතුර තමන් දරන දේශපාලන මතය තුළින් මයි දකින්නේ. පින්වත, අශ්‍රද්ධාවැති ධාතු ස්වභාවයන් තමන්ගේ දේශපාලන මතයයි ධර්මය කොට දකින්නේ. පින්වත, දේශපාලනය තුළ පවතින විවිධ වූ දේශපාලන මතයන් සමග ඔබලා පැටලෙන්න, හැබැයි උතුම් සද්ධර්මයත් සමග දේශපාලන මතයන් පටලවා ගන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් පාලක පින්වතුන්ලා අධාර්මික වෙද්දී, අදාළ රටේ කාලගුණය විකෘති වෙනවා” ය කියලා. පින්වත, අපි ජීවත් වන සමාජයේ වසර පනහකට වැඩි කාලයක පටන් පංචශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගත්ත පාලක පින්වතුන්ලා අපි දැකලා නැහැ. පින්වත, ‘දේශපාලනයේ අධාර්මිකභාවය’ යැයි කියන කාරණය වර්තමානයට පමණක් අදාළ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවයකයන් හැටියට ඉහත ධර්මයන් සමාජගත කරන්නේ විවේචනය උදෙසා නොවේ, අවශ්‍ය පින්වතෙක් සිටිනවා නම් නිවැරදි වෙන්න මයි. පින්වත, අපේ රටේ වැස්ස සහ අව්ව දැන් දැන් මහා විකෘතියක් වෙලා. නායක පින්වතුනි, වහ වහා අප්‍රමාදී වෙන්න.

පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ සරණ අහිමි නම්, භික්ෂුවට බොරුවෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. පින්වත, එය අපි කාටත් පොදු ධර්මතාවයක්. පින්වත, බිම්බිසාර රජතුමා ධාර්මිකව මගධ රාජ්‍යයේ රජකම් කරලා, මරණින් පසු පටිච්චසමුප්පන්නව දිව්‍ය ජීවිතයක් ලැබුවා. පින්වත, අජාසත්ත රජතුමා අවීචි මහා නිරයේ ඉපදුණා. පින්වත, කොසොල් රජතුමා අනාථයෙක් හැටියට අම්බලමක මිය ගියා. පින්වත, කොසොල් රජතුමාගේ නැවත උපතත් අනාථ ම වෙන්න ඇති නේද? පින්වත, පුහුණු කරන ලද සංස්කාරයන්ට අදාළව අපි කාගෙ කාගෙත් මරණය සූදානම් වෙනවා. පින්වත, සද්ධර්මයේ අර්ථයන් හඳුනන පාලක පින්වතුන්ලාට පුළුවන්, තම රාජ්‍ය පාලනය තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්න. පින්වත, තම රාජ්‍ය පාලනය තුළින් සතර සතිපට්ඨාන ධර්මයෝ දකින්න. පින්වත, පුහුණු කරන සංස්කාරයන්ගේ නොමනාභාවය නිසා ම, හැමෝම දකින්න උත්සාහ කරන්නේ බිදුණ සිල් පදවල වැරහැලිභාවය මයි; ලෝභ, ද්වේශ, මෝහයන්ගේ නිරුවත්භාවය මයි. පින්වත, අපේ රටේ පංචශීලය දිවිහිමියෙන් රකින නායකයෝ පහළ වේවා! යැයි සිහින නම් දකින්න එපා. පින්වත, සිහින අයිති විඤ්ඤාණයේ මායාවට. පින්වත, විඤ්ඤාණයේ මායාවෝ ඔබේ සිහින මරා දමන හැටි, ඔබට සක් සුදක් සේ පැහැදිලියි නේද? පින්වත, අපේ සමස්ත දේශපාලනය ම පිළී ගඳෙන් පිරිලා. පින්වත, පිළී ගඳ යැයි ධර්මයේ සඳහන් වෙන්නේ මස් සහ මාළුවල පිළී ගඳ නොවේ. බුදුරජාණන් වහන්සේ පිළී ගඳ යැයි කියන්නේ දුශ්ශීලභාවයේ දුර්ගන්ධයටයි. පින්වත, ඔබ මස්, මාළු නොකෑවත්, මනුෂ්‍ය හිංසනය, සොරකම, බොරුව, කාමයේ වරදවා හැසිරීම කොළඹ මාළු කඩේ පිළී ගඳට වඩා මහා පිළී ගඳක් මයි. පින්වත, දේශපාලනය කරන පින්වත් හැමෝම කරුණාකර සැබෑ පිළී ගඳ තේරුම් ගන්න.

පින්වත, පසුගිය දිනවල පින්වත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පිරිසක් බලහත්කාරයෙන් මල්වානේ රජය සතු දේපළක දින කිහිපයක් පදිංචි වෙලා සිටියා නේද? පින්වත, එම සිද්ධියේ දී භික්ෂුව දැක්ක බොහෝම ගුණාත්මක දෙයක් තිබුණා. පින්වත, එම සිද්ධියට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන පැවිදි ස්වාමීන් වහන්සේලා කවුරුවත් ම සම්බන්ධ වෙලා සිටියේ නැහැ. උසස් අධ්‍යාපනය ලබන පින්වත් තරුණ ස්වාමීන් වහන්සේලා බොහෝම සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ, පින්වත් තරුණ ස්වාමින් වහන්සේලා උපයෝගී කොට ගෙන සමස්ත සංඝ සමාජයේ ම ආත්ම ගරුත්වය දුර්වල කොට දැමීමේ පාපකාරී ක්‍රියාවන් දේශීය සහ විදේශීය වශයෙන් උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙනවාය කියන කාරණය. පින්වත, බෝහෝම සිල්වත් නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, “කටුනායක දී අත්අඩංගුවට පත් තරුණ ස්වාමීන් වහන්සේලා අතර තමන් වහන්සේගේ ශිෂ්‍යයෙකුත් සිටිනවා, මම කොහොම ද සමාජයට මුහුණ දෙන්නේ?” කියලා. පින්වත, මෙවැනි වැඩිහිටි උපාධ්‍යායන් වහන්සේලාව, තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විසින් මෙවැනි සිද්ධීන් තුළින් මානසිකව හිංසනයට පත් කිරීම ලොකු අකුසලයක් වෙනවා. පින්වත, “අද දවසේ පැවිදිභාවය ලැබූ සාමණේර ස්වාමීන් වහන්සේ, අනාගාමී ගිහි උපාසක පින්වතෙකුට වඩා ශ්‍රේෂ්ඨයි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත් තරුණ ස්වාමීන් වහන්සේලා තමන් තුළින් තමන්ගේ ශ්‍රේෂ්ඨභාවය දකින්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට උසස් අධ්‍යාපනය ලබන තරුණ ස්වාමීන් වහන්සේලා නිතර මුණගැසෙනවා. එම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ හිස කෙස් වැවිලා තිබුණත්, රැවුල වැවිලා තිබුණත් භික්ෂුව එම තරුණ ස්වාමීන් වහන්සේලාව දකින්නේ ගිහි අනාගාමී පින්වතෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ සංඝ සමාජයේ සාමාජිකයෙක් හැටියට මයි.

පින්වත, ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේලා විනයගරුකව හැසිරෙද්දී, විනයගරුකව ඇවතුම් පැවතුම් පවත්වද්දී, සත්පුරුෂ මනුෂ්‍යයෝ විතරක් නොවේ, සත්පුරුෂ දෙවියෝත් ඔබලාව දැකලා සතුටු වෙනවා. ගෞරවනීය උපාධ්‍යායන් වහන්සේලා ඔබලාව දැකලා සතුටු වෙනවා. පින්වත, අසත්පුරුෂ නිරාගමිකභාවයන් සංඝ සමාජය සතු සමාජ ආධිපත්‍යය බිඳ දැමීමට උපක්‍රමශීලීව දැල එළද්දී, අපේ රටේ සත්පුරුෂ බෞද්ධ සහ අබෞද්ධ පින්වත් ජනතාව සමස්ත සංඝ සමාජය කෙරෙහි තිබෙන ගෞරවය පැවිදි අපි කෘතවේදීව තේරුම් ගන්න ඕනේ. පින්වත, සංඝ සමාජයේ අපි අසත්පුරුෂ ධර්මයන් සරණ ගොස්, සත්පුරුෂ ධර්මයන්ගේ සිත් රිදවන්න හොඳ නැහැ. පින්වත, සංඝ සමාජයේ අපි, “මම නිවැරදියි, අනුන් වැරදියි” යැයි සංඝ සමාජයේ අසමගියට පාර හදන්න හොඳ නැහැ. පින්වත, නිවැරදි භික්ෂුවගේ වගකීම, වැරදිකරුවා විවේචනය කිරීම නොවේ, පූර්වාදර්ශීව වැරදි නිවැරදි කොට ගැනීමට මාර්ගය විවර කිරීමයි. පින්වත, මේ ලිපිය සටහන් තබන මොහොතේත් අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ මුල්කොට ගෙන අසත්පුරුෂ විවේචනයෝ සමාජගත කරනවා. එම නායක ස්වාමීන් වහන්සේට මේ ලිපිය ලියන මොහොත දක්වා සංඝ සමාජය විසින් අධිකරණයන් පනවා නැහැ. රටේ අධිකරණය විසින් උන්වහන්සේව වැරදිකරුවෙක් කරලත් නැහැ. උන්වහන්සේ තවමත් නිර්දෝෂීවයි වැඩ සිටින්නේ.

පින්වත, සංස්කාර අධිකරණය මේ සියලු සිදුවීම්වලට ඉදිරියෙන්, සීරුවෙන් බලා සිටිනවා. පින්වත, සංස්කාර අධිකරණය රැස්වෙන්නේ තමන්ගේ ම හෘද සාක්‍ෂිය තුළයි. පින්වත, නිරාගමික මාර ධර්මයෝ මෙවැනි සිද්ධීන් ඉදිරියේ බොර දියේ මාළු බාන්න උත්සාහ කළාට, අපි කලබල විය යුතු නැහැ. පින්වත, ලක්‍ෂ සංඛ්‍යාත සත්පුරුෂ ජනතාවක් සතිපතා පින්කම් සිදු කොට ගන්නා මේ මහා පුණ්‍ය භූමි, මෙතෙක් ආරක්‍ෂා කොට ගෙන, නඩත්තු කොට ගෙන, පින්වත් ජනතාවගේ පුණ්‍ය සිතුවිලි වර්ධනය වන ආකාරයට මෙම පූජා භූමි පාලනය කොට ගෙන පැමිණියාට, අපි එම නායක ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. පින්වත, අධර්මවාදී කොටි ත්‍රස්තවාදය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මනුෂ්‍ය ඝාතන සිදු කරද්දී, මෙම පුද බිම් අත්නොහැර ආරක්‍ෂා කොට ගත්තේ, ඔබවත්, භික්ෂුවවත් නොවේ, මෙම නායක ස්වාමීන් වහන්සේලා මයි. පින්වත, වැරදි කළා ද, වැරදි නොකළා ද කියන කාරණය තීරණය කිරීම රටේ අධිකරණයට භාර දී, සත්පුරුෂ පින්වත් අපි මෙම නායක ස්වාමීන් වහන්සේලා පූජනීය අටමස්ථානයේ ආරක්‍ෂාව, පැවැත්ම, නඩත්තුව උදෙසා සිදු කළ මෙහෙවරට කෘතවේදී වෙමු. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට, “මහා පුණ්‍ය භූමියක නායකත්වය භාර ගන්න” කියලා කිව්වොත්, භික්ෂුව දෙවරක් නොසිතා ප්‍රකාශ කරන්නේ, “අනේ! නායක හාමුදුරුවනේ, මට නම් අපායට යන්න බැහැ” කියලයි. පින්වත, භික්ෂුව ඉහත අදහස් සටහන් තැබුවේ, මෙවන් මහා පූජා භූමිවලට නායකත්වය දෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා තම වගකීම් ඉදිරියේ මොනතරම් අධිඅවදානමක් තුළ ද වැඩ සිටින්නේ කියන කාරණය පැහැදිලි කොට දෙන්නයි.

පින්වත, චෝදනා සහ විවේචන කරන්න ඕනෑම අනුවණ පින්වතෙකුට හරිම ලේසියි. පින්වත, මහා පූජා භූමි පාලනය කරන නායක ස්වාමීන් වහන්සේලාට පැවරී තිබෙන නායකත්ව වගකීම්, දසදහස් සංඛ්‍යාත බැතිමතුන්, දිනපතා පැවැත්වෙන මහා පින්කම්, දිනපතා ලැබෙන ද්‍රව්‍යමය සහ මුදල්මය ආධාර, අදාළ පූජා භූමියේ ආරක්‍ෂාව, පිරිසිදුභාවය, නඩත්තුව, පින්වත, ඉහත සියලු වගකීම් උතුම් පැවිදි ජීවිතයක් මතට ගනිද්දී, පින්වත, හේතුඵල ධර්මයන්ට අදාළව කෙසේ නම් එම නායක ස්වාමීන් වහන්සේලා තුළ සම්මා සමාධිමත් සිතක් ඇති වෙන්න ද? පින්වත, මෙම ලිපිය සටහන් තබන මොහොතේ වනවාසී කුටියක වැඩ සිටින මෙම භික්ෂුවගේ ශීලය සහ සමාධිය, එලෙසින් ම මෙවන් මහා පූජා භූමි පාලනය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එය හේතුඵල ධර්මයන්ට අදාළව සිද්ධ වෙන්නේ නැහැ. පින්වත, නමුත් භික්ෂුව එක දෙයක් බොහෝම විවෘතව සටහන් තබනවා, “පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මෙම මොහොතේ සිටින තැනට පැමිණියේ, භික්ෂුව ගිහි ජීවිතයේ දී, ඉහත නායක ස්වාමීන් වහන්සේලා ආරක්‍ෂා කොට ගෙන පැමිණි මහා පුණ්‍ය භූමිවල පින්කම් කරලා, ගුණදහම් පුරලා” ය කියන කාරණය. පින්වත, එම කෘතවේදීභාවය භික්ෂුව අමතක කරන්නේ නැහැ. පින්වත් සත්පුරුෂ ඔබ අමතක කරන්නත් එපා.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

උපුටා ගැනීම - 2026 මැයි 31 දිවයින ඉරිදා සංග්‍රහය

Address

Bandaragama

Alerts

Be the first to know and let us send you an email when Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ:

Share