08/12/2025
"සපරපුර නොහොත් සබරගමු නාමය"
අපේ රට තරම් සංස්කෘතික වශයෙන් විචිත්‍රත්වයක් දක්නා ලැබෙන ලොව අන් දේශයක් වේ දැයි සිතෙන තරම්ය! නුවර කලාවියේ එක් සමාජ සම්ප්‍රදායකි. පානම් පත්තුවේ තවත් ආරකි. ඌවේ, කන්ද උඩරට වෙනස් වෙනස් සිරිත් විරිත්ය. පහත රට වෙනම වහරකි. ඒ සියල්ල අතර ‘සබරගමුව’ හෙවත් ‘සපරගමුව’ ප්‍රකට කරන්නේ ඊටම ආවේණික මුහුණුවරකි. මේ සඳහා බෙහෙවින්ම බලපා ඇත්තේ එහි භූ වපසරිය තුළ ස්ථාපිත විශ්ව බෞද්ධ උරුමයක් වන ‘ශ්‍රීපාදය’ හා බද්ධ වූ සංස්කෘතික ධාරාවේ සහ මෙපෙදසටම අනුහුරු වූ මැණික් කර්මාන්තය ඇසුරු කර ගත් ජන සම්ප්‍රදායේ සම්මිශ්‍රණයයි.
සෑම රටක හෝ ගමක නමක් කොටස් දෙකකින් යුක්ත බව දැකිය හැකිය. පෙර පද හා අපර පද හෝ නාම හා ප්‍රත්‍යය වශයෙනි. හෙළ+දිව, සබර+ගමුව, හින්දු+ස්ථානය, තායි+ලන්තය, එංග+ලන්තය, පොල්+වත්ත, පිං+කුඹුරු, දවුල්කාර+පංගුව ආදී වශයෙනි. මෙම කොටස් දෙකින් ම වැදගත් මූලික ලක්ෂණ ඉස්මතු කොට පෙන්වනු ලබයි. "හෙළදිව" යනු හෙළයන්ගේ දිවයිනය. "හෙළදිව" යනු හෙළයන්ගේ දිවයින යයි කී කළ එය ජලයෙන් වට වූ භූමියක් බව හඟවයි. 'සබරගමුව' යනු 'සබර' නැමැති ජන කොට්ඨාශය ඒක රාශී වී වාසය කළ භූමියක් බව හඟවයි. නැති නම් 'සපරගමුව' කී තැන මැණික් නම් වටිනා ඛනිජය ඒකරාශී වූ භූමිය බව කියැවෙයි.
සපරගමුවේ නාම ප්‍රභවය විවිධ මතිමතාන්තරවලින් පිරී ඇත. ප්‍රාචීන ලේඛනයන්හි සපරගමු නාම ප්‍රභවය පොලොන්නරු සමයටත් පෙර උදා වු බව කියැවේ. ඒ පිළිබඳ විමර්ශනාත්මක විවේචන පැරණි ලියවිලිවල සඳහන්ව තිබේ. 'සබරගමුව' හැඳින්වීම සඳහා 'සපරගමු', 'සපරගමුව' යන දෙවදන්ම වැඩි වශයෙන් පැරණි ලේඛණවල යෙදී ඇත. අද බොහෝ විට ලිපි ලේඛනවල දක්නට ලැබෙන්නේ සබරගමුව යනුවෙනි. ඇතැම් විට සපරගමුව කියනු ඉඳහිට දකින්නට ලැබේ. මෙකී ප්‍රදේශය හැඳින්වීමට ඒ නම යෙදීමේ හේතුව වශයෙන් විවිධ ජනප්‍රවාදයන් වේ. 'සබර' යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි. මෙම ප්‍රදේශයෙහි පුරාතනයේ දී බහුල වශයෙන් වාසය කළ වැදි ජනයා නිසාවෙන් 'සබර ගමු' වීය. එය ම 'සපරගමු' ලෙස ව්‍යවහාර වීය, යනු මින් පළමුවන අදහස වේ. 'සබරුන්' හෙවත් වැද්දන් සිටි ප්‍රදේශය නිසා සබරගමු පසුව සපරගමුව වු බව කියවෙතත් මේ ප්‍රදේශයේ සිටියේ වැද්දන් පමණකැයි කීම ඉතිහාසයට කරන අවමානයක් බව තවත් එක් වියතුන් කොඨ්ටාසකගෙ මතයයි. මෙම ප්‍රදේශයේ පැතිලි මිරිදිය මසුන් වර්ගයක් වන පෙතියන් බහුලව සිටීම (ඔවුන් හැඳින්වුයේද සපර යන නාමයෙනි). තවද වනයේ සබරහංස (ලොන්) අධික වීමත් නිසා සබරගමුව වු බව තවත් මත දෙකකි.
'සරබ' යනු වෙළෙන්දන් සඳහා යෙදෙන වචනයක් බවත් වෙළෙන්දන්ගේ පැමිණීම, වෙළඳාම් පැවතීම නිසා මේ නාමය වන්නට ඇති බවත් මේ අතරට එක්වේ. සපරගමුව සමඟ පෙර සිට පැවති වෙළඳාම් පිළිබඳ තොරතුරු ඇතත් එපමණකින් මේ නාමය වූයේ ද, යනු නිශ්චිත නැත. එමෙන්ම අතීතයෙහි සිට මෙම ප්‍රදේශය ග්‍රීක් රට සම සම්බන්ධතා පැවැත්වූ අතර මේ නිසා, මේ ප්‍රදේශයෙහි බහුල ව දක්නට ලැබෙන නිල්මැණික් හඳුන්වන, ග්‍රීක භාෂාවේ සෆිරෝස් (Sappheiros) යන වචනය අනුව 'නිල්මැණික් බහුල පෙදෙස' යන අර්ථයෙන් 'සපරගමු' වීය, යනු දෙවන මතයයි. ග්‍රීක වචනයෙන් 'සපර' සද තද්භව වී යැ'යි මේ අයගේ පිළිගැනීමය. අතීතයෙහි සිට මේ රට ග්‍රීක් රට සමග සම්බන්ධතා පැවැත්විණි. මේ නිසා, මේ ප්‍රදේශයෙහි බහුල ව දක්නට ලැබෙන නිල්මැණික හඳුන්වන, ග්‍රීක භාෂාවේ සෆිරෝස් (Sappheiros) යන වචනය අනුව 'නිල්මැණික් බහුල පෙදෙස' යන අර්ථයෙන් 'සපරගමු' වීය, යනු දෙවන මතයයි. ග්‍රීක වචනයෙන් 'සපර' සද තද්භව වී ඇත. ඒ අනුව ක්‍රි.පුර්ව හතර වැනි ශත වර්ෂයේ පමණ වරින් වර රුවන් සෙවීමට මෙහි පැමිණි විදේශිකයෝ මේ ප්‍රදේශයට ඔවුන්ගේ බසින් විවිධ නම් තැබුහ. හීබ්‍රෑ(SAPIR –SAPPIR) ලැටින් (SAPPHIRUS) ඉංග්‍රීසි (SAPPHIRE) යන ස්වභාෂා නාමයන්ගෙන් ප්‍රදේශය හැඳින්වු බව පෙනේ. පෘතුගීසින් හා ඕලන්ද ජාතීන් සපරග්ගාම, සපර්ගම් වශයෙන් ඔවුන්ගේ ලියකියවිලි වල ලියා තිබේ. තවත් එක් මතයකට අනුව ප්‍රදේශයෙහි ජලාශවල 'පෙටියන්' (සඵර) බහුල වීම නිසා 'සපර' වීය, බව ජනප්‍රවාදය වේ. එමෙන්ම ප්‍රදේශයෙහි වනාන්තරවල 'ලොත්' (සබර) ගස් බහුල වීම නිසා මේ නාමය වීය, යනු තවත් එක් මතයකි. 'සරබගමුව සබරගමුව' විය. 'සරබ' යනු - වෙළෙන්දෝය. මෙහි මැණික් වෙළෙන්දන්ගේ පැමිණීම නිතර සිදුවිය. මෙකී හේතුව නිසා සබරගමුව නම විය බව ද මතයකි.
'සපරගමුව' වචනය සබරගමු, සපරගමු, ස්පරපුර, සබගොමු රට, හබරගමු, සපරගොමුව, හබරගොමුව, හපරගොමුව, සඹරගොමුව, සඹාගමුදනවුව යනාදී වශයෙන් මින්පසු කාලවලට අයත් සිංහල ලේඛනවල සඳහන් වී තිබේ. සපරෙරට්ටෙ, සපරග්ගාමව්හර, ස්පරගමුමහාරට්ඨෙ, යනුවෙන් පාලි ලේඛනවල ද ස්ථරාඛ්‍ය විශ්‍රැතපුරෙ ආදී වශයෙන් සංස්කෘත ප්‍රබන්ධවල ද සෆර්ගම් යනුවෙන් පෘතුගීසී, ඕලන්ද හා ඇතැම් ඉංග්‍රීසි ලේඛණවල ද සඳහන් ව තිබේ. ඉහතින් සඳහන් කළ පරිදි, ස්පරගමු වචනය දඹදෙණි කාලයේ දී යෙදිණි නම්, ඉන්පසු ව සිංහල ලේඛනවල 'පරගමු' වචනය සඳහන් වන බව පෙනී යන්නේ සීතාවක යුගයේ පළමුවන රාජසිංහ රජු දවස රචිත සැවුල් සන්දේශයේ ය. එහි දෙතැනක මේ වචනය ස්පරපුර හා සපරගමුපුර විසින් සඳහන් වී තිබේ. ඊට පසු රචනා වී ඇති කුන්ස්තන්තීනු හටනේ දී එක් තැනක 'ස්පරපුර' යන වචනය යෙදී තිබේ. කන්ද උඩරට පාලනය කළ පළමුවන විමලධර්මසූර්ය රජුගේ කාලයෙහි සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය දක්වා තොරතුරු දැක්වෙන මන්දාරම්පුර පුවතෙහි දහවරක් පමණ මේ වචනය යෙදී ඇත. දඹදෙණි යුගයේ ඉදිකරන ලදැ'යි සැලකෙන රත්නපුර සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කර එයට ගම්බිම් පූජා කරවන ලද සිරිපැරකුම්බා රජු විසින් සමන් දේවාලය භූමියෙහි ශිලා ලේඛනයක් පිහිටුවන ලදී. ඒ කෝට්ටේ රාජධානි යුගයේ දීය. මුලින් කී පරිදි මේ ලිපියෙහි 'නවයොදුන් බඳ ස්පරගමුවෙහි' යන යෙදුමක් දක්නට ලැබේ.
ඉතිහාස මූලාශ්‍රයන්ට අනුව පළමුවන පරාක්‍රමබාහු මහරජු විසින් පොළොන්නරුවෙහි කරන ලද ශාසන ධනයට සහභාගී වූ සංඝයා ගැන විස්තර කරන මහාවංසය, සපරගමු රටින් පැමිණි තෙරවරුන් ගැන ද දක්වයි. එහි දී යොදා ඇත්තේ 'සපර රට' යන අරුත් 'පර රට්ඨං' යන වචනයයි. නිශ්ශංකමල්ල රජු දක්වා පොළොන්නරුවේ රජවරුන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙමින් රත්නපුර දිසාවෙන් ඉඩම් පරිත්‍යාග කිරීමෙන් ද සබරගමුව පිළිබඳ රාජ්‍ය අයිතිය ප්‍රදර්ශනය කෙරෙයි. එහෙත්, ඒ කිසිතැනක දේශ සීමා පිලිබඳ සඳහන් නොවීම විශේෂ කරුණකි. පළමුවන විමලධර්මසූර්ය දෙන රජු දළදා වහන්සේ දෙල්ගමුවෙන් කන්ද උඩරටට වැඩමා ගැනීමේ විස්තරය දක්වන අවස්ථාවෙහි මහාවංසය සපරගමුව සඳහන් කරන්නේ 'සපරගමු මහරට' යන අරුත් ඇති 'පරගමු මහාරට්ඨෙ' වශයෙනි. 1800 තරම් මෑතක රවිත පාලි ප්‍රබන්ධවල ද සපරගමු රට 'ස්ථරග්ගාමව්හරට්ඨ' වශයෙන් සපරගමුව ගැන සඳහන් කර තිබේ. තවද බ්‍රිතාන්‍යය ජාතිකයින් හට රට ලියා දුන් ගිවිසුම් ලියැවිල්ල වැනි නිල ලේඛනයේ සටහන් වන්නේ ද 'සපරගමු' සදයි. අන්‍ය ජාතියකට රට භාර දුන් වගකිවයුතු ලියැවිල්ලක එන එකී වචනය නීත්‍යනුකූල වේ. මුලින් කී සමන් දේවාලය සෙල්ලිපියේ අග ඇති සංස්කෘත ශ්ලෝකයක 'පර නම් ප්‍රසිද්ධ පුරයෙහි' – 'ස්ථරාඛ්‍ය විශ්‍රැත පුරෙ' යනුවෙන් ම සපරගමුව සඳහන් කර තිබේ. ඉන් මෑත කෝට්ටේ සමයෙහි ලියූ සපරගමු මහ සමන් දේවාලය හා පැපිලියාන සෙල්ලිපි-දෙල්ගමු විහාරය ගැන මහාවංශයෙහි ලියූ පාලි ගාථා හා උගතුන් විසින් ලියන ලද ලෙන්දොර-බුදුලෙන ආදී තඹ සන්නස් වලත්, පෘතුගීසි-ඕලන්ද-ජර්මන් ලිපිවලත්, පිළිවෙළින් සඵරග්ග්‍රාම - සඵරග්ගාම - සඵරගමු - සපර්ගම් - වශයෙන් යෙදී තිබේ. එමෙන්ම ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි පරග්‍රාම හා පරපුර යන්නට සබරගමුව යයි අර්ථකථනය කරයි.
රත්නපුර-සපරගමු යන නම් දෙක යුග්ම වචනයක් ලෙස සැලකීමද වැරදි නැත. අතීතයේ සබරගමුව යනුවෙන් හැඳින්වුයේ රත්නපුරයටය. මහනුවර සමයේ පැවති පස් වැනි මහාදිසාව වූ සපරගමුව, රත්නපුර දිස්ත්‍රික්කය ලෙසත්, පළමුවැනි හා සය වැනි මහදිසාවන් වූ සතර කෝරලය හා කෝරල තුන කෑගලු දිස්ත්‍රික්කය ලෙසත් බ්‍රිතාන්‍ය පාලකයේ බෙදා වෙන් කළහ. වර්තමාන සබරගමුවට කෑගල්ල දිස්ත්‍රික්කය සම්බන්ධ වුයේ ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට සම්බන්ධවීමෙන් පසුවයි. සීතාවක රාජධානි යුගයේ අලගියවන්න මුකවෙට්ටි විසින් ලියන ලද සැවුල් සංදේශයේ සපරපුර යනුවෙන් යොදා තිබේ. ''රත්නපුරය" යන නාමය ප්‍රථමයෙන් දකින්නට ලැබෙන්නේ 17 වැනි ශත වර්ෂයේ රචිත මන්දාරම් පුවතේය. රත්නපුරය මුල් කාලයේ නවදුන් රට හෙවත් නව යොදුන් රට නමින් භාවිතා විය. ආදි කාලීන අර්ථ ශාස්ත්‍රඥ කෞටිල්‍ය ලක්දිව මැණික් උපදින රටක් ලෙසින් සඳහන් කර තිබේ. ''මහාභාරත" නැමැති සංස්කෘතික ග්‍රන්ථයේ විභීෂණ තම හිතවත් යුධීෂ්ඨර රාජයාට පුද පුජා වශයෙන් රත්නපුරයෙන් මැණික් යැවු බව සඳහන් වේ. ''මණිමේඛලයි" නැමැති ද්‍රවිඩ ග්‍රන්ථයේ ලංකාව හදුන්වාදී ඇත්තේ රත්නදීප යනුවෙනි. පුරාණයේ බොහෝ ඓතිහාසික වාර්තාවල සපරගමුව හා රත්නදීපය රත්නපුරය එක සමාන ලෙසට හදුන්වා දී ඇත. ඇතැම් පුරාණ ශිලා ලිපිවල "මණිකාරගම" ලෙසට රත්නපුරය නම්කර ඇත. රත්නපුරයේ ග්‍රාම නාම ප්‍රභවය ද රත්න වර්ග ඇති පුරය හෙවත් රත්නවර්ණ බහුලව ඇති පුරය නිසා වු බව සඳහන් වේ. එමෙන්ම මහා සුමනගේ දේව රාජ්‍යයට අයත් මේ ප්‍රදේශයෙහි බහුල වශයෙන් ඉන්ද්‍රනීල ඇතුළු අනිකුත් රත්න වර්ග සම්බවන නිසා මෙයට රත්නපුර යන නාමය මානව සමාජයේ දියුණුවත් සමග ඇති වූවකි. තවද රුවන්පුර, මිණිපුර, යන නම්වලින් ද රත්නපුරය හැදින්වේ.
Sabaragamuwe Api සබරගමුවේ අපි