26/12/2023
නත්තල කියන්නෙම සිස්ටම් චේන්ජ් එක
==============================
මැදුරු තියෙද්දිත් ගවලෙන සොයා ලා
රජවරු ඉද්දිත් ගොපලුන් ළගට ආ
සිනිදු සේල අතහැර ගව ඔරුවෙ බා
නත්තල එයයි සිසිටම් එක චේන්ජ් දා
රජවරු පවා බය වී මරණට ඇහුව
සුර දූතයෙක් පෙන්නූ මග දිග දිව්ව
රාජ සෙබලු මැද මරණය පැරදෙව්ව
සිසිටම් එක චේන්ජ් වී ඇත අපි හෙව්ව
සමරිතානු ස්ත‍්‍රිය බය කුලවාදේ
ජීවන ජලය බී ඇය හා කළ වාදේ
ඉතිහාසයේ උස් මිටි කළ අපරාදේ
සිස්ටම් කඩ කඩා පතුරමු කිතු නාදේ
කොරු ඇවිදිද්දි අන්ධයො දකිනවාලු
ලෙඩ සුව වෙද්දි මලවුන් නැගිටුවාලු
පීඩිත එකා නිතරම සැන සුනාලු
සිස්ටම් එකම කනපිට පෙරලුනාලු
පවුකාරයෝ සකෙවුස් වගේ එකට කතී
ගල් බිම දමා මග්දලාව වැලද ගතී
කොන් කල උන් ඇවිත් එක පෙලකටම යතී
මීටත් වඩා සිස්ටම් කොයි චේන්ජ් ඇතී
වැට් බදු නිසා පීඩිතයන් කරන සටන්
යුක්තිය සොයයි එරෙහිව සීසර්ට හිටන්
සහයක් විය යුතුයි අපි පිටුපසින් සිටන්
සිස්ටම් චේන්ජ් එක එ්කයි එදා පටන්
ජේසු කියන්නේ පල්ලියෙ අල්තාරේ
නැති නම් වීදි පෙර හැර යන මහ පාරේ
ජන වන්දනාවේ හිර වී හැම වාරේ
හිටියොත් මජර සිස්ටම් එකමය රාලේ
දිලිදුන් සොයා ආ ඒ සුබ ආරංචි
වෙලදුන් අයිති කර එහි වී පදිංචී
ගව ඔරුවක එදා ඉපදුණු එ් පුංචි
දරුවෙක් කුඩු කලා සිස්ටම් ඇද අංචී
නත්තල් ගස් හදා සුකුරුත්තමින් නෙක
කැරොල් ගය ගයා කා බී නටන එක
නත්තල කියලා කිව්වට අද මෙසිරි ලක
නත්තල කියන්නෙම සිස්ටම් චේන්ජ් එක
තිළිණ අලහකෝන් 2023 - 12- 24
(මේ පාර පරිස්සමට නත්තල කන්ඩ)